Best News Website award
brand logo
logo
ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා සහ අගමැති හරිනි අතර සාකච්ඡාවක්

19 November 2026

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කරමින් ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ නීලකාන්ත් මිශ්‍රා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.


ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරිය, දෙපාර්ශ්වය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.


මෙම සාකච්ඡාව 17 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.


රටේ ආර්ථික වර්ධනය, ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සහ පවතින ප්‍රධාන අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.


යහපාලන මූලධර්මයන්ට අනුකූලව ඩිජිටල්කරණය සහ ආයතනික රාමු ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්ක අතර පවතින බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.


ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාමේදී පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමේ සහ සවිබල ගැන්වීමේ වැදගත්කම ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ නීලකාන්ත් මිශ්‍රා මහතා පෙන්වා දුන්නේය.


ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියලු ජන කොටස් ඇතුළත් තිරසර වර්ධනයක් විය යුතු බවත්, සංවර්ධන ප්‍රතිලාභ සමාජයේ සියලු කොටස් අතර සාධාරණව බෙදී යාම සහතික කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.


මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද එක්ව සිටියහ.

 

More News..