brand logo
logo
අනිවාර්යයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට සචිත්‍රට නියෝග

අනිවාර්යයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට සචිත්‍රට නියෝග

10 July 2025 | නුවන් ජයසේකර - මීගහජදුර

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායකට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ ගොනු කර ඇති නඩුව සඳහා අධිචෝදනා බාරදීමට විත්තිකාර සචිත්‍ර සේනානායකට සැප්තැම්බර් මස 25 වැනි දා අනිවාර්යයෙන්ම මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට හම්බන්තොට මහාධිකරණ විනිසුරු ටිකිරි කේ.ජයතිලක ඊයේ (09 වැනිදා) නියෝග කළේය.


ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර ඊට අදාළ අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා නඩුව ඊයේ (09 වනිදා) හම්බන්තොට මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ බිරිඳ නීතිඥවරුන් සමග අධිකරණයේ පෙනී සිටියාය. විත්තිකරු මේ වන විදෙස්ගතව සිටින බව නීතිඥවරයා අධිකරණයට දැන්වූ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු මීළඟ දිනයේ අනිවාර්යෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට නියම කෙරුණි.


2020 වසරේ නොවැම්බර් මස 21 සහ 22 වැනිදා අතර කාලසීමාව තුළදී මුරුසී දිවයිනේදී හා හම්බන්තොටදී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බෝ කිංග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙලඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.


ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ ඉතිහාසයේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාවද මෙයවීම විශේෂත්වයකි.


 

More News..