Best News Website award
brand logo
logo
හලාවත වෙරළ තීරයේදී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හලාවත වෙරළ තීරයේදී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

13 November 2026


හලාවත තල්විල වෙරළ තීරයේදී බීඩි කොළ තොගයක් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.


වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව ඊයේ (12) රාත්‍රියේදී සිදුකළ මෙහෙයුමකදී මෙම බීඩිකොළ තොගය නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.


නීති විරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙම බීඩි කොළ තොගය මෙරටට රැගෙන විත් ඇති බවට සැකකරන අතර උර 42ක් තුළ බීඩිකොළ කිලෝග්‍රෑම් 1,597.2ක් තිබූ බවද ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


මේ සමග බීඩි කොළ රැගෙන ආ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ ලොරි රථයක් සහ ඩිංගි යාත්‍රාවක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.


වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත තොඩුවාව අනුඛණ්ඩයේ නාවිකයින් CG 205 මුර යාත්‍රාවේ නාවිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ගවේශණාත්මක කාර්ය සාධක බලකායේ නාවිකයින්, මෙන්ම තොඩුවාව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.


එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ භාණ්ඩ අද (13) ඉදිරි නීතිමය කටයුතු සඳහා තොඩුවාව පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර පසුව එම සැකකරුවන් සහ භාණ්ඩ බියගම සුරාබදු විශේෂ වැටලීම් ඒකකය වෙත භාර දීමටද නියමිතව ඇත.


මේ අතර වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය වසර දෙකක කාලය තුළ සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙහෙයුම් මගින් බීඩි කොළ ටොන් 30කට අධික ප්‍රමාණයක් සිය භාරයටද ගෙන ඇති බවය.

 

More News..