දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
27 September 2026
දිස්ත්‍රික්ක හතකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
27 September 2026
පවතින වැසි අධික කාලයත් සමග දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම නිවේදනය අද (27) පස්වරු 4 සිට හෙට (28) පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වනු ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ නියගම, තවලම, නෙළුව සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කරන්දෙණිය, බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම්දෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, ගඟ ඉහළ කෝරළය, දොළුව, උඩපළාත, යටිනුවර සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, ගලිගමුව, වරකාපොළ, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, අදියර එක යටතේය.
මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, පස්ගොඩ සහ කොටපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නුවරඑළිය දිස්‍ත්‍රික්කයේ තලවාකැලේ, නුවරඑළිය, කොත්මලේ උතුර, අඹගමුව, නෝවූර්ඩ් සහ කොත්මලේ දකුණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ අනතුරු ඇඟවීම් සිදු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

