Best News Website award
brand logo
logo
ඒ සතුට අදටත් මට වචන කරගන්න අමාරුයි

ඒ සතුට අදටත් මට වචන කරගන්න අමාරුයි

19 November 2026


ශ්‍රී ලාංකීය රියැලිටි ඉතිහාසයේ දැවැන්තම සජීවී රූපවාහිනී රියැලිටි වැඩසටහන විදිහට සැලකෙන "දෙරණ ඩ්‍රීම් ස්ටාර්" 12 වෙනි අදියරේ සිහින කිරුළ ජයග්‍රහණය කරපු ඒ හැඩකාරියව මතකද? ඔව්, ඇය තමයි ජනනි ඉමාත්මා. එදා ඒ ජයග්‍රහණයෙන් පසු බොහෝදෙනකුගේ ආදරය දිනාගත් ජනනි, මේ වනවිට ඇගේම ගීත තුළින් ගායන ක්ෂේත්‍රයේ සුන්දර ගමනක් යමින් සිටින ගායිකාවක්. ඉතින් එදා ඇය ලැබූ ජයග්‍රහණයත් සමගින් ඇගේ ජීවිතය වෙනස්වුණේ කොහොමද සහ ඇගේ අලුත් වැඩකටයුතු මොනවද බලන්න මෙවර අපි ගායිකා ජනනි ඉමාත්මාට කතා කළා.


මේ දිනවල ජනනිගේ අලුත් වැඩකටයුතු එහෙම කොහොමද?


මේ දිනවල මං අලුත් ගීත කීපයක් වෙනුවෙන් සූදානම් වෙනවා. පසුගියදා මගේ අලුත් ගීතය එළිදැක්වුවා. ඒ "ඉල්මාසේ වැස්සේ" කියන ආදර ගීතය. ටීවී දෙරණ නාලිකාවෙන් කරපු ඒ ගීතය "සංගීතේ" ටෙලිනාට්‍යය වෙනුවෙන් කරපු එකක්.


ඒ අතරවාරේ ඔබව ප්‍රසංගවලත් දකිනවා?


ඔව්, ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවා. ඉතින් ඒවටත් සහභාගි වෙනවා.


ජනනි තමයි "දෙරණ ඩ්‍රීම් ස්ටාර්" 12 වෙනි අදියරේ ජයග්‍රාහිකාව. ඒ ජයග්‍රහණයෙන් පසුව ජනනිගේ ජීවිතය වෙනස්වුණේ කොයි විදිහටද?


ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රහණයෙන් පසු මගේ ජීවිතේට ගොඩාක් දේවල් ලැබුනා. ඒ අතරින් මට ලැබුනු වටිනාම දේ තමයි මගේ හ‍ඬට ආදරය කරන රසික රසිකාවියෝ පිරිසක් බිහිවීම. ඒ නිසා මට මේ වෙනකොට ගායනය පැත්තෙන් හරි සුන්දර ගමනක් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ "දෙරණ" පවුලේ හැමෝමත් මගේ ගායන සිහිනය පාට කරපු "දෙරණ ඩ්‍රීම් ස්ටාර්" වේදිකාවත් හුඟාක් ආදරයෙන් මතක් කරනවා.


එදා අවසන් තරගයට එද්දී ජයග්‍රහණය ඔබට හිමිවෙයි කියලා ජනනිට හිතුනද?


අවසන් තරගයට ආපු එකම ජයග්‍රහණයක් විදිහටයි මං එදා දැක්කේ. මොකද අපේ රටේ ගායනයට දක්ෂ ලක්ෂ ගණනක් අතරින් මං එහෙම අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ. ඒ නිසා ලැබෙන ප්‍රතිඵලය මොකක් වුණත් ඒකට මං ලෑස්තිපිට හිටියේ ඒත් වාසනාවට එදා මම ජයග්‍රහණය කළා.


එදා ඩ්‍රීම් ස්ටාර් ජයග්‍රාහිකාව ඔබ කියද්දී මොකද හිතුණේ?


ඒක හරියට හීනයක් වගේ. තවමත් ඩ්‍රීම් ස්ටාර් වුණු සතුට වචන කරගන්න මට තේරෙන්නේ නෑ.


පුංචි කාලේ "දෙරණ ලිට්ල් ස්ටාර්" රියලිටි තරගයටත් සහභාගි වුණාලු නේද?


ඔව්, මුලින්ම ලිට්ස් ස්ටාර් සීසර් 07 ට ඉදිරිපත් වුණේ. ඒ සැරේ 12 න් පහළ ගායන අ‍ංශයෙන් අවසන් හත්දෙනා අතරට ඇවිත් තරඟයෙන් ඉවත්වෙන්න සිදුවුණා. ඊට පස්සේ 2016 වසරේ සීසන් 08 ට ඉදිරිපත් වුණා. ඒකෙදී මට පුළුවන් වුණා 12 න් පහළ ගායන අ‍ංශයෙන් අනුශූරතාව දිනාගන්න.


ඒ කියන්නේ ජනනිට ගායිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳන්ම හීනයක් තිබිලා?


ඇත්තටම මං පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ ගායිකාවක් වෙන්න. ඩ්‍රීම් ස්ටාර් නිසා හිතුවට වඩා ඉක්මනින් මට ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා. ඒ ගැන සතුටුයි.


ජනනි, ඔබට භාෂා කීයකින් ගීත ගායනා කරන්න පුළුවන්ද?


සිංහල, හින්දි සහ දමිළ කියන භාෂා තුනෙන් පුළුවන්.


ඇතැම් ගායක ගායිකාවෝ ඔවුන්ගේ ගීත ඔවුන් හැරුනුවිට වෙනත් කිසිවෙක්ම ගායනා කරනවට කැමැති නෑ. මේ වෙනකොට ඔබෙත් ජනප්‍රිය ගීත කීපයක් තියෙනවා. ඒ ගීත වෙනත් නවකයෙක් ගායනා කළොත් ඔබ ඊට කැමැතිද?


මගේ එහෙම විරුද්ධත්වයක් නෑ.


ගායනය හැරුනම අපි නොදන්න ජනනිගේ වෙනත් දක්ෂතා මොනවද?


ලොකුම දක්ෂතාව ගායනය තමයි. ඒ හැරුනම ටිකක් ඩාන්ස් කරන්න පුළුවන්.


පෙනුමත් එක්ක රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවද?


අනේ රඟපාන්න නම් දන්නේ නෑ.


ඒ වුණාට ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් බිහිවුණු සමහර තරු අද නළු නිළියන් විදිහටත් ජනප්‍රිය වෙලා තියෙනවා?


ඒක නම් ඇත්ත. ඒත් ඉතින් රඟපාන්න දන්නේ නෑනේ. ඒක නිසා පුළුවන් දේ කරගෙන ඉන්නවා.


ජනනිගේ පවුලේ විස්තර ගැනත් කියමුද?


මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි මල්ලියි. ඒ තමයි මගේ ශක්තිය. පවුලෙන් මගේ මේ ගමනට ලොකු සහයෝගයක් දෙනවා.


ඔබෙන් ආදරය ගැන ඇහුවේ නැත්නම් ඒක මේ කතාබහට ලොකු අඩුවක්?


ආදරය කියන්නේ ඇත්තටම ලස්සන දෙයක්. මේ වෙලාවේ මට මගේ පවුලෙන් යාළුවන්ගෙන් සහ මගේ ගීත රසවිඳින ආදරණීය මිනිසුන්ගෙන් ඒක මට උපරිමයෙන් ලැබෙනවා. 

 

More News..