ඥානසාර හිමි සම්බන්ධයෙන් ගම්මන්පිල සිදුකළ ප්‍රකාශය ගැන විමර්ශනයක්
13 October 2026
ඥානසාර හිමි සම්බන්ධයෙන් ගම්මන්පිල සිදුකළ ප්‍රකාශය ගැන විමර්ශනයක්
13 October 2026
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර සිටියදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදුවූ සිදුවීමක් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදුකළ කරුණු දැක්වීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (13) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ පැවසුවේ සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු අදාළ සිදුවීම සම්බන්ධව විමර්ශන ආරම්භ වන බවය.
ඊයේ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේදී එම අවස්ථාව බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් රජයේ ප්‍රධානියෙකුට නැරඹීමට අවස්ථාව උදා කර දී ඇති බවය.
ඒ අනුව මෙම චෝදනාව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට මාධ්‍යවේදියෙකු විසින් යොමු කිරීමේදී අමාත්‍යවරයා පැවසුවේ අදාළ සිදුවීම සුළුවෙන් ගත නොහැකි සිදුවීමක් බැවින් අදාළ ප්‍රකාශය සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන බවය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,
"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. මොකද මේක සුළුවෙත් තකන්නට පුළුවන් අනාවරණයක් නෙමෙයි. ඒ නිසා මේ ගැන බන්ධනාගාරය විසින් පැමිණිල්ලක් කළාට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය එයට පරීක්ෂණ සිදු කරාවි. කරලා මේ සිදුවීම සම්බන්ධව කරුණු අනාවරණය කරගනිවී එහෙම දෙයක් සිදු වුණාද කොහොමද සිදුවුණේ කියලා. දැනට තිබෙන්නේ ගම්මන්පිලට තමන් දැකපු දේවල්, කියපු දේවල්, අහපු දේවල් සියල්ලම ඒ පරීක්ෂණයේදී නිරාවරණය කරන එක."

