Best News Website award
brand logo
logo
වසර 8ක අභ්‍යවකාශ චාරිකාවකින් පසු BepiColombo යානය බුධ ග්‍රහයාගේ කක්ෂයට

වසර 8ක අභ්‍යවකාශ චාරිකාවකින් පසු BepiColombo යානය බුධ ග්‍රහයාගේ කක්ෂයට

21 November 2026


වසර අටකට අධික කාලයක් පුරා කිලෝමීටර් බිලියන 10කට ආසන්න දුරක් ගමන් කළ BepiColombo අභ්‍යවකාශ යානය බුධ ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු වීමට නියමිතව තිබේ.


යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) එක්ව ක්‍රියාත්මක කරන මෙම මෙහෙයුම 2018 වසරේදී ප්‍රංශ ගයනාවෙන් ආරම්භ කර ඇත.


සූර්යයාට ආසන්නතම ග්‍රහයා වන බුධ ග්‍රහයා පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ අභිරහස් රැසකට පිළිතුරු සෙවීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.


බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 430ක් දක්වා ඉහළ යන අතර, ඇතැම් අවස්ථාවලදී එය සෙල්සියස් අංශක ඍණ 180ක් දක්වා පහත වැටෙන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.


එවැනි අධික උෂ්ණත්ව වෙනස්කම් පවතින ග්‍රහයක ධ්‍රැව ආශ්‍රිත ආවාට තුළ අයිස් පවතින්නේ කෙසේද යන්න සොයා බැලීම ද මෙම පර්යේෂණයේ විශේෂ අරමුණකි.


එමෙන්ම බුධ ග්‍රහයාගේ මතුපිට දක්නට ලැබෙන අද්භූත කුහර දහස් ගණනක් නිර්මාණය වූ ආකාරය සහ ග්‍රහයාගේ ප්‍රමාණයට සාපේක්ෂව අතිවිශාල ලෝහමය හරයක් පිහිටීමට හේතුව පිළිබඳව ද විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ.


බුධ ග්‍රහයා වෙත ළඟා වීම සඳහා BepiColombo යානයට පෘථිවිය වටා එක් වරක්, සිකුරු ග්‍රහයා වටා දෙවරක් සහ බුධ ග්‍රහයා අසලින් හය වරක් ගමන් කිරීමට සිදුව තිබේ.


සූර්යයාගේ ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලපෑම හමුවේ යානයේ වේගය පාලනය කරගැනීම සඳහා මෙම සංකීර්ණ ගමන් මාර්ගය යොදාගෙන ඇත.


මුලින් වසර හතකින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ ගමන, යානයේ ප්‍රචාලන පද්ධතියේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් තවත් වසරකින් දීර්ඝ වී තිබේ.


බුධ ග්‍රහයාගේ කක්ෂයට ඇතුළු වීම සඳහා යානයට විනාඩි 37ක පමණ තීරණාත්මක වේග පාලන ක්‍රියාවලියක් සිදුකිරීමට නියමිතය.


මෙම මෙහෙයුමේ විශේෂත්වයක් වන්නේ එක් අභ්‍යවකාශ යානයක් තුළ වෙන වෙනම ක්‍රියාත්මක වන ගවේෂණ යානා දෙකක් අන්තර්ගත වීමයි.


ඒ අනුව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අයත් යානය බුධ ග්‍රහයාගේ මතුපිට සහ අභ්‍යන්තර ව්‍යුහය අධ්‍යයනය කිරීමට නියමිත අතර, ජපානයට අයත් අනෙක් යානය එහි චුම්බක ක්ෂේත්‍රය සහ සූර්යයා සමඟ සිදුවන අන්තර්ක්‍රියා පිළිබඳව පර්යේෂණ සිදුකරනු ඇත.


මෙම යානා දෙක දෙසැම්බර් 9 සහ 10 යන දිනවලදී වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, ප්‍රධාන විද්‍යාත්මක පර්යේෂණ 2027 අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.


මීට පෙර බුධ ග්‍රහයා වෙත ළඟා වී ඇත්තේ අමෙරිකාවේ නාසා ආයතනයට අයත් Mariner 10 සහ Messenger යන අභ්‍යවකාශ යානා දෙක පමණි.


ඒ අනුව BepiColombo මෙහෙයුම මඟින් බුධ ග්‍රහයාගේ ආරම්භය, පරිණාමය සහ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.

 

More News..