ආණ්ඩුව දෙමළ පක්ෂවල ඉල්ලීම් ලබාදෙයිද?
15 July 2026
ආණ්ඩුව දෙමළ පක්ෂවල ඉල්ලීම් ලබාදෙයිද?
15 July 2026
දෙමළ කතා කරන දේශපාලන පක්ෂ හයක් පෙරේදා (ජූලි 13 වැනිදා) කොළඹදී පැවැත්වූ රැස්වීම ඊයේ සෑම පුවත්පතකම මුල් පිටුවේ ප්‍රවෘත්තියක් වී තිබුණේය. මෙසේ රැස්වූ පක්ෂ වූයේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ACMC), ලංකා කම්කරු සංගමය (CWC), ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය (DTNA), ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) හා දෙමළ ප්‍රගතිශීලි සංධානය (TPA)ය. තුමුන් මැතිවරණ තරග කිරීමට පිහිටුවා ගත් සංධානයක් නොව දෙමළ කතා කරන ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීමේ අපේක්ෂාවෙන් එක්රැස්වූ ව්‍යාපාරයක් බව ඔවුන් විසින් මෙහිදී පැහැදිලි කරන ලදී. පළාත් සභා මැතිවරණය පැවැත්වීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම, සියලු ජනවර්ගවලට බලපාන ඉඩම් ප්‍රශ්න නිරාකරණය කිරීම හා සුළු ජන ප්‍රශ්න සංවාදයෙන් විසඳීම යන කාරණා හතර ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි ඉල්ලීම් වේ.
මේ ආණ්ඩුව පෙනී සිටින්නේ දෙමළ කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් හැටියටය. මෙතෙක් මේ රටේ කිසිම ජාතික දේශපාලන පක්ෂයකට කළ නොහැකි වූ කාර්යයක්ද ඒ නිසා ඔවුන්ට ඉකුත් ජනාධිපතිවරණයේදී කරගත හැකි විය. ඒ ඔවුන්ට උතුරු - නැගෙනහිර දෙමළ පක්ෂ පරදවමින් ඡන්දයකදී ඉදිරියට පැමිණීමට හැකිවීමය. එහෙයින් දෙමළ කතා කරන පක්ෂ හය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් නොසලකා හැරීම ආණ්ඩුවට දුෂ්කරය.
මේ ඉල්ලීම් අතරින් පළමුවැන්න වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමය. බලයේ සිටින ඕනෑම දේශපාලන පක්ෂයක් තමන්ට ජයග්‍රහණය කිරීමට අසීරු පළාත් සභා හා පළාත් පාලන වැනි මැතිවරණ මහහැරීමට කැමතිය. එහෙයින් විධායක ජනාධිපති බලයද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 159 දෙනෙකුගේ ශක්තියද ඇති ජාතික ජන බලවේගය තමන්ගේ ඒ බලය හීනවී ඇති බව ප්‍රදර්ශනය වෙනවාට අකැමැති වීම ස්වාභාවිකය. අහම්බයකින් ආණ්ඩුවට වාසිදායක තත්ත්වයක් රටේ අනාගතයේ දවසක ඇති වුවහොත් මිස පළාත් සභා ඡන්දය කල්දැමීමට විනා පැවැත්වීමට ආණ්ඩුව කරදර නොවනු ඇතැයි අපට නම් සිතෙයි.
අනෙක් පැත්තට පළාත් සභා යනු වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි දෙමළ සංවිධාන සංතෘප්ත කිරීම සඳහා ඉන්දියාව විසින් 1987 ඉන්දු-ලංකා ගිවිසුම යටතේ බලහත්කාරයෙන් මෙරටට පටවන ලද්දකි. එය කවදාවත් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවක් වූයේ නැත. 2009 දී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ සිහිනය බොඳවී ගිය හෙයින් දැන් දෙමළ නායකයන් යටත් පිරිසෙයින් උතුරු - නැගෙනහිර පළාත් සභාවල බලය තමන්ට ලබාගැනීමට උනන්දු වීමේ පුදුමයක් නැත. එහෙත් ආණ්ඩුවට ඔවුන් පමණක් සතුටු කිරීම සඳහා ඒ දෙපළාතේ මැතිවරණ පමණක් පවත්වා ඇඟ බේරා ගැනීමටද බැරිය. තවද ආණ්ඩුවට දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි යන ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම හා පළාත් සභා ඡන්ද නොපවත්වා සිටීම යන දෙකරුණම ඉෂ්ට කරගැනීමටද නුපුළුවන.
කෙසේ වුවද පළාත් සභා සම්බන්ධයෙන් ගත් කළ නම් ඒ රටේ කාලය, ධනය හා ශ්‍රමය නිකරුණේ කාදමන සුදු අලියකු මිස අනෙකක් නොවන බව නොකියාම බැරිය. 1988 දී පළාත් සභා ඇති කෙරුණු අවස්ථාවේ ඊට දැඩි ලෙස විරුද්ධ වූද, පළාත් සභාවලට ඉදිරිපත් වීම නිසා එහි අපේක්ෂකයින් ඝාතනය කළා වූද, එහිදී ඡන්දය පාවිච්චි කිරීමට යන්නන් මරාදමන බවට තර්ජනය කළාවූද ජනතා විමුක්ති පෙරමුණට ඒ බව අප කියා දිය යුතු නොවේ. ඒ නිසා මේ ආණ්ඩුව පත්කරගත් පිරිස් බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඔවුන් පළාත් සභා ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරනු ඇතැයි කියාය.
මෙහිදී ආණ්ඩුවට දෙමළ කතා කරන පක්ෂවල දෙවැනි ඉල්ලීම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් නම් මේ ප්‍රශ්නයට විසඳුමක් සොයාගත හැකිය. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් පළාත් සභා අහෝසි කිරීමෙනි. එහිදී ඉන්දියාව ඊට විරුද්ධවීමට ඇති ඉඩ ප්‍රස්ථාවද මෙහිදී නොතකා හැරිය නොහැකි බව ඇත්තය. අපේ රට මත පටවන ලද පළාත් සභා අපට බරක් වී ඇති අන්දම ඔවුන්ට පෙන්වා දීමට දැන් ඉන්දියාව සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වන ආණ්ඩුවට හැකිවේදැයි අපි නොදනිමු. එහෙත් පළාත් සභාවලට ඔවුන් දැක්වූ විරෝධය ගැන සිතූ කල මේ ආණ්ඩුව ඒ උත්සාහය දරනු ඇතැයි ඔවුන්ගේ ඡන්දදායකයින් විශ්වාස කරනවා ඇත.
ජාජබ සිය දේශපාලන වේදිකාවේදී ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දු වූ අතර එසේ කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වන්නේය. 1978 දී ඒ ඇති කරනු ලැබූ දිනයේ පටන් අවිච්ඡින්නව ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධවූ ජවිපෙ තමන්ට බලය ලැබී ඇති මේ අවස්ථාවේ ඒ වෙනස් කිරීමට කටයුතු කරනු ඇතැයි ඔවුන්ගේ මිතුරෝ මෙන්ම සතුරෝද බලාපොරොත්තු වූහ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනැවිත් එමගින් ජනාධිපති ක්‍රමය හා පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට හැකි වුවහොත් කිසිම වැඩක් නොකළේ යැයි විරුද්ධවාදීන් නිරන්තරයෙන් නගන චෝදනාවෙන් නිදහස් වීමටද ආණ්ඩුවට හැකි වනු ඇත. එහෙත් ආණ්ඩුවට ඒ වුවමනාව ඇද්දැයි අපි නොදනිමු.

