දොස්තර හිඟය
19 November 2026
දොස්තර හිඟය
19 November 2026
දොස්තරලාගේ වෘත්තීය ගැටලු මතු වූ අවස්ථාවල සමහර දේශපාලඥයන් සඳහන් කළේ දොස්තරලා ඕනෑ තරම් රටේ සිටින බවය. එහෙත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ඉකුත් 17 දා මැතිසබයේදී රට පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 1819 දෙනකුගේ හිඟයක් තිබෙන බව පැවසීය. ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය 136කි. වෛද්‍ය හිඟය 1683 කි. වෛද්‍යවරුන්ගේ අනුමත කාර්ය මණ්ඩලය 2903කි. එහෙත් දැනට සිටිනුයේ 2767ක් බවද ඇමතිවරයා පැවසීය.
මෙකී කරුණුවලට අමතරව ඉදිරි වසර තුනට වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු හත්දාහක් පමණ හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය. ජනගහනය වර්ධනය වන විට එයට සාපේක්ෂව රෝහල්වල වර්ධනයක්ද දැකිය හැකිය. රෝහල් වර්ධනය වුවද ඒවාට සුදුසු වෛද්‍යවරුන් බිහි කරගැනීම සඳහා ජාතික වශයෙන් උපායමාර්ගික වැඩපිළිවෙළක් අනුව කටයුතු කළ යුතුබව සෞඛ්‍ය ඇමතිවරයාගේ කරුණු දැක්වීමෙන් පැහැදිලි වෙයි. පසුගිය දිනවලද අප දුටුවේ වෛද්‍යවරුන් වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණයක නිරත වූ ආකාරයයි. එවැනි එක් අවස්ථාවකදී අප නිරීක්ෂණය කළ සිදුවීමක් නම් කුප්‍රකට youtube කරුවෙක් උද්ඝෝෂණය මැදට පැන ඒ හේතුවෙන් මාර්ග තදබදයක් ඇතිවීම පිළිබඳ කෑ කොස්සන් නැගීමය. ඔහු ආණ්ඩුවට කඩේ යන පුද්ගලයකු දැයි අප දන්නේ නැත. ඒ එසේ නම් වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ප්‍රතිචාර කෙබඳු එකක්දැයි එමගින් පැහැදිලි වෙයි. ආණ්ඩුව කළ යුත්තේ දැනට රටේ ඉතිරිව සිටින වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳාගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමය. එහිලා අනුගමනය කළ යුත්තේ වෛද්‍යවරුන් සමග ගැටෙන ප්‍රතිපත්තියක් නොව නම්‍යශීලීව දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමක් කෙරෙහිය. පසුගිය ආණ්ඩු පැවති කාලයේ සිටම බදු ඉහළ දැමීම හේතුවෙන් උද්ගත වූ ගැටලු වෛද්‍ය ක්ෂේත්රයෙහි දැඩි අවධානයට ලක් විය. එවැනි ගැටලු පමණක් නොව රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් පදනම් කරගෙනද ගැටලු මතුවිය.
අනුරාධපුර රෝහලේ සේවය කළ වෛද්‍යවරියක දූෂණය කිරීම පිළිබඳ නඩුව පසුගිය දිනවල විභාගයට ගැනිණි. එකී නඩු විභාගයේදී වෛද්‍යවරියගේ පියා ලබා දුන් සාක්කිය අනුව පැහැදිලි වනුයේ ඇයට ලබාදී තිබුණු වෛද්‍ය නේවාසිකාගාරය ඉතාම අනාරක්ෂිත එකක් බවය. එය අඳුරු පරිසරයක පිහිටි එකක් බව ඔහුගේ සාක්කිවලින් හෙළිවිය. මේවා කෙරෙහිද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.
පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ ක්ෂේත්රවල වෘත්තීයවේදිහු රට අත්හැර ගියෝය. ඒ අතර බෙහෙවින් රට අත්හැර ගියේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ය. එයට හේතුව ලංකාවේ අධ්‍යාපනය සහ පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබීමය. විශේෂඥ පුහුණුවට රටින් ගිය සමහර වෛද්‍යවරු එතෙරම නතර වූහ. දුර්වල බැඳුම්කර ද එයට එක් හේතුවක් සේ දැක්විය හැකිය. වෛද්‍ය පීඨ එකොළහකින් පමණ වෛද්‍යවරු බිහිවෙති. සීමාවාසික පුහුණුව ලැබූ වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමේදීද යම් යම් ගැටලු මතු වූ ආකාරය අපට මතකය.
ප්‍රධාන රෝහල්වල වෛද්‍ය හිඟයට තිබෙන විසඳුම් අතර ප්‍රාදේශීය මට්ටමේ රෝහල්වලින් හැකි තරම් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ සේවා පුළුල් කිරීමද එක් පියවරක් සේ සැලකිය හැකිය. එකී සේවා ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව දියුණු කිරීම මගින් ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අවම කරගත හැකිය. එසේම ප්‍රාදේශීය රෝහල් සහ ප්‍රජා වෛද්‍ය සේවාවන් මගින් සෞඛ්‍ය සංරක්ෂණ විධි කෙරෙහි ජනතාව දැනුවත් කිරීම ද අනුගමනය කළ හැකි පියවරකි. එමගින් රෝග වැලඳීමට පෙර ඒවා වළක්වා ගැනීමට ජනතාව යොමු කරගත හැකිය. කෙතරම් සන්නිවේදන මාර්ග තිබුණ ද රෝග පූර්ව නිවාරණය පිළිබඳ මහජන අවධානය හෝ දැනුම එතරම් හොඳ මට්ටමක නොමැති බව සඳහන් කළ යුතුය.


