brand logo
logo
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

08 April 2026

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජන සේවා නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස “1930” ක්ෂණික ඇමතුම් අංකය සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළිදක්වා ඇත.


ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම සහ නවීකරණය කළ නිල වෙබ් අඩවිය එළි දැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය වන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) එම දෙපාර්තමේන්තුවේදී සිදු විය.


මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම ඇමතුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති අතර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම තොරතුරු ලබාගත හැකි, පරිශීලක හිතකාමී වෙබ් අඩවියක් ද හඳුන්වා දී තිබේ.


රාජ්‍ය සේවය සහ මහජනයා අතර පවතින සන්නිවේදන පරතරය හේතුවෙන් බොහෝ දෙනා අතර මැදියන්ගේ ග්‍රහණයට හසුවන බවත්, එය ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු ඇති කරන බවත් මෙහිදී අනාවරණය විය. 


1930 අංකය සහ නව වෙබ් අඩවිය හරහා නිවැරදි තොරතුරු සෘජුව ලබා දීමෙන් එවැනි වංචනික ක්‍රියාකාරකම් බැහැර වන විනිවිද පෙනෙන සේවාවක් සැපයීමට පියවර ගෙන තිබේ.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට දරු උපත් ලියාපදිංචිය, විදේශිකයන් සමඟ විවාහ වීම සහ දේපළ කටයුතු වලදී මුහුණ දෙන ගැටලු වලට මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය සහ වෙබ් අඩවි හරහා විසඳුම් ලබා දීමට සැලසුම් කර ඇත.


එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සිදුවන නව තාක්ෂණික පරිවර්තනයක ආරම්භයක් සනිටුහන් කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

 

More News..