වසරේ පළමු මාස 8 තුළ රජයේ බදු නොවන ආදායම ඉහලට
15 November 2026
වසරේ පළමු මාස 8 තුළ රජයේ බදු නොවන ආදායම ඉහලට
15 November 2026
මෙම වසරේ පළමු මාස 8 තුළ බදු නොවන ආදායම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව වර්ධනය වී තිබේ.
අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ 2027 වාර්තාව මගින් මේ බව අනාවරණය කර ඇත.
ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 226.2ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 314.8ක් දක්වා සියයට 39.1කින් මධ්‍යස්ථ ලෙස වර්ධනය වී ඇති බවද එහි සඳහන් ව තිබේ.
ඒ අනුව රජයේ සමස්ත ආදායම සඳහා බදු නොවන ආදායම 7.9කින් දායකත්වය ලබා දී ඇත.
මහ බැංකුවේ රුපියල් බිලියන 42.1ක ලාභ පැවරීම් ද ඇතුළුව ලාභ හා ලාභාංශ, කුලී, දඩ, ගාස්තු හා අයකිරීම්, පොලී ආදායම සහ සමාජ ආරක්ෂණ දායකත්වයෙන් ලද ආදායම ඉහළ යාම බදු නොවන ආදායම වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
ඒ අනුව පොලී ආදායම 2025 වසරේ පළමු මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 43.4ට සාපේක්ෂව 2026 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ රුපියල් බිලියන 51.7ක් දක්වා සියයට 19.1කින් වර්ධනය වී ඇතැයිද සඳහන් වේ.
දඩ, ගාස්තු සහ අයකිරීම් තුළින් ලද ආදායම ද පෙර වසරේ එම කාලයට සාපේක්ෂව මෙම වසරේදී ඉහළ ගොස් ඇති අතර ඒ අනුව පෙර වසරේ රුපියල් බිලියන 112.6ට සාපේක්ෂව සියයට 18.7කින් වර්ධනය කරමින් මෙම වසරේ රුපියල් බිලියන 133.6ක් වාර්තා කර තිබේ.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතින් ලද ගාස්තු හා අය කිරීම්වල ආදායමද ඉහළ ගොස් ඇත.
එමෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ යාම හා දායකත්ව අනුපාතය ඉහළ දැමීම හේතුවෙන් සමාජ ආරක්ෂණ දායකත්වයෙන්ද රජයට ලද ආදායම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර ඒ අනුව පෙර වසරේ රුපියල් බිලියන 36.6 ඉක්මවමින් මෙම වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 45.3ක් වාර්තා කර ඇත.
තවද කුලී අදායමද පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර 2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 3.9 සිට මෙම වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 5.1 දක්වා සියයට 31.8කින් වර්ධනය වී තිබේ.
මේ අතර රජය සතු ව්‍යවසායන්ගෙන් ලද ලාභ හා ලාභාංශ ආදායමද පෙර වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර ඒ අනුව 2025 පළමු මාස 8 තුළ වාර්තා වූ රුපියල් බිලියන 14.6 ඉක්මවමින් මෙම වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 19.9ක් දක්වා සියයට 36කින් වර්ධනය වී ඇත.
ඒ නුව 2026 වසර සඳහා ඇස්තමේන්තු කළ රුපියල් බිලියන 360ක බදු නොවන ආදායම් ඉලක්කයෙන් 87.4%ක් පළමු මාස අට තුළ රැස්කර ගැනීමටද සමත්ව ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ව තිබේ.


