දෙරණට ආපු කෙනෙක් හිස් අතින් ගියේ නැහැ
05 November 2026 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
දෙරණට ආපු කෙනෙක් හිස් අතින් ගියේ නැහැ
05 November 2026 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
ටෙලිවිෂන් වංශ කතාව අලුත් වෙලා. 2005 වර්ෂයේ ටෙලිවිෂනයට අලුතෙන්ම එකතු වුණ TV දෙරණ මේ වංශ කතාව වෙනස් කරන්න ලොකු බලපෑමක් කළා. විදේශීය සංකල්පවලට යටත්ව තිබූ ටෙලිවිෂනයට දේශීය හා අපේ සංස්කෘතිය එක් කරමින් බොහෝ වැඩසටහන් ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ඒමේ කාර්යභාරය TV දෙරණ සාර්ථකව ඉෂ්ට කළා. අද වයස විසි එකක තාරුණ්‍යයේ පසුවන ටීවී දෙරණ බොහෝ දෙනාගේ ආදරණීය නාලිකාව බවට පත්වෙලා. එවන් අලුත් නිර්මාණ සංකල්ප TV දෙරණ මත මැවූ දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යෂිකා සහ TV දෙරණ ප්‍රධාන වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය අද පිනිපසලත් සමග ඒ අපූරු කතාව කියන්න එක් වෙනවා.
ඔබ දෙරණට පය තබන යුගයට යමුද?
මම ඉන්දියාවේ ස්ටාර් විජේ කියන චැනල් එකේ වැඩ කළේ. ඇත්තටම ඉන්දියාවේ ටෙලිවිෂන් කියන එක ලේසි නැහැ. මාකට් එක ලොකුයි. ඒ නිසා වැඩ කරන කොට දැනෙන පීඩනය වැඩියි. කොහොම හරි වෙනසකටත් එක්ක තමා ලංකාවට එන්නේ.
ඔය වෙනකොට ලංකාවේ තිබුණ නාලිකාවල හැසිරීම මොන වගේද?
2005 අවුරුද්දේ අපි දෙරණ ආරම්භ කරනකොට රූපවාහිනී නාලිකා තිබුණේ හරිම ඒකාකාරී තැනක. එතැනදී TV දෙරණ අපි වැඩසටහන් පෙළ ගැස්මේ ඉඳලාම ලොකු වෙනසක් කළා. කිසිම වෙලාවක ප්‍රේක්ෂකයාව බලෙන් රූපවාහිනිය ඇතුළට ගේන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි කළේ ප්‍රේක්ෂකයා තේරුම් අරගෙන ඔවුන්ගේ රුචි අරුචිකම් එක්ක වැඩසටහන් නිර්මාණය කිරීම.
රියැලිටි වැඩසටහන් එක්ක ඔබේ නම බැඳිලා තියනවා නේද?
ඕක වෙන්නේ මෙහෙමයි. රියැලිටි කියන තේමාව මට අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ පළවෙනි රියැලිටිය මම නොකළාට දකුණු ආසියාවේ පළවෙනි රියැලිටිය ඇතුළේ මම හිටියා. එතකොට ලංකාව රියැලිටි ගැන හිතලාවත් නැහැ. 2004 වර්ෂයේ ආරම්භ කෙරුණු එය බියුටි සම්බන්ධ රියැලිටි එකක්. මම හිතන්නෙ රියැලිටි ගැන මම අත්දැකීම් ලබන්නෙම එතැනින්.
මොකක්ද ඔබ ලංකාවේ රියැලිටිය වෙනුවෙන් කරන වෙනස.
ලංකාවේ රියැලිටිවල තිබුණේ වෙනත් රටවලින් ලබාගත්තු තේමාවන්. ඒවායෙන් ලැබෙන මුදලින් කොටසක් ඒ රටවලට යනවා. නමුත් මට අවශ්‍ය වුණා මම ඉන්දියාවේ ලබපු රියැලිටි අත්දැකීම් එකතු කරලා ජාත්‍යන්තර දේවලුත් අරගෙන ලංකාවේ ක්‍රමයට අපේ රියැලිටියක් කරන්න. එතැනදී රුපියලක්වත් වෙනත් රටකට නොයා යුතුයි කියන තැන උන්නා.
ඔබ කොහොමද ඒක කරන්නේ.
ලෝකේ කොයි තරම් රියැලිටි තිබුණත් පුංචි දරුවෙන් වෙනුවෙන් පළවෙනි රියැලිටි වැඩසටහන ආරම්භ කරන්නේ TV දෙරණ. පුංචි දරුවන් වෙනුවෙන් ආරම්භ කරපු ලිට්ල් ස්ටාර් ලංකාවේ ප්‍රේක්ෂකයන් ඉතා ඉක්මනින් වැලඳ ගත්තා. විශේෂයෙන්ම පුංචි දරුවන්ගේ හිතාගන්න බැරි දක්ෂතා බලන්න දෙමාපියන් TV දෙරණ වටා රොක් වුණා. මේ වෙනකොට ලිට්ල් ස්ටාර් සීසන් දහතුනක් අපි ඉවර කරලා තියෙනවා. ලංකාවේ එක දිගට රියැලිටි 13 ක් නිමා කළ එකම රියැලිටිය ලෙස දෙරණ ලිට්ල් ස්ටාර් ඉතිහාසගත වෙලා තියෙනවා.
ඩ්‍රීම්ස්ටාර් තුළත් ඔබ දේශීයත්වයට මුල්තැන දෙන සංකල්පයක් හඳුන්වා දෙනවා නේද?
මුලින්ම කියන්න ඕනේ මේ කිසිම දෙයක් මම තනියම කළේ නැහැ. ටීවී දෙරණ දරාගෙන ඉන්න මුදුන් මුලක් වැනි මාධව මඩවල, ලක්සිරි වික්‍රමගේ, දිලිත් ජයවීර හා වරුණි අමණුගම මට වැඩ කරන්න පූර්ණ නිදහස ලබා දුන්නා. වැඩසටහන් අධ්‍යක්ෂිකාව කියන්නේ නිර්මාණශීලීත්වයත් එක්ක බැඳුණු තනතුරක්. ඒ තනතුර ඇතුළේ අලුත් නිර්මාණශීලිත්වය විදහා දක්වන්න ඔවුන් මට නිදහස ලබා දුන්නා.
ඒ අනුව තමා මම ජාත්‍යන්තර රියැලිටි දේශීය ආකාරයට ඩ්‍රීම්ස්ටාර් නමින් නිර්මාණය කරන්නේ. මම හිතන්නේ ඒක ගොඩාක් දෙනෙක්ට දැණුනා. එහි ප්‍රතිඵලයක් ලෙස එක දිගට ඩ්‍රීම්ස්ටාර් සීසන් 12 ක් නිමා කරලා 13 වැනි සීසන් එක දැන් ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව සිටි ඔෆ් ඩාන්ස්, ස්ටාර් සිටි, 60 Plus, වගේ වැඩසටහන් නිර්මාණය කරනවා. මෙම වැඩසටහන් අතරිනුත් 60 Plus කියන්නේ ලෝකයේ වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කරපු එකම රියැලිටි වැඩසටහන.
මීට අමතරව ඔබ ටෙලිනාට්‍ය ක්ෂේත්රයටත් අත තබනවා.
පොදු කියන්නේ මගේ පළවෙනි ටෙලි පර්යේෂණයේ ප්‍රතිඵලයක්. එයින් ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක පොදු සීසන් දෙක නිර්මාණය කළා. ඒ වගේම සිංහල අලුත් අවුරුද්ද්ද වෙනුවෙන්ටෙලි සීරීස් කීපයක් නිර්මාණය කළා. එතෙක් පැවතුනේ සිංහල අලුත් අවුරුද්දට රූපවාහිනියේ දෙමළ, හින්දි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ න්‍යායක්. නමුත් ෆිල්ම් එකක් හා සමාන ටෙලි චිත්‍රපට ප්‍රේකෂක මනසට ලොකු වෙනසක් ඇති කළා. වසන්තේ, ආදර වසන්තේ, ඉරයි හඳයි උදාවූ වසන්තය වගේ ටෙලි චිත්‍රපට තුළින් අලුත් සංකල්පයක් රූපවාහිනි කලාවට ගෙනාවා. අද බොහෝ දෙනෙක් එය අනුකරණය කරනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා.
රියැලිටි තරු නළු නිළියන් කරන්නෙත් දෙරණම තමයි නේද?
ඒකත් අපි කරපු වෙනසක්. හැමදාම අපි රූපවාහිනියේ දැක්කේ එකම ජාතියේ නළු නිළි පිරිසක්. ඩ්‍රීම්ස්ටාර්, ලිට්ල්ස්ටාර්, අවුරුදු කුමරිය, සිටි ඔෆ් ඩාන්ස් වගේ කරන කොට රඟපෑමේ දක්ෂතා තියන අයව හඳුනා ගත්තාම ඔවුන්ට ඒ පාරේ යන්න අවස්ථාව හදලා දුන්නා. සමහර විට ඩ්‍රීම්ස්ටාර් ඇවිත් ජයග්‍රහණය කරපු තරුවට වඩා අතරමැද ඩ්‍රීම්ස්ටාර් තරගෙන් ඉවත් වූ තරගකරුවෙක් අද රංගන ලෝකයේ ඉදිරියෙන්ම ඉන්නවා. ඔහු අර ඩ්‍රීම්ස්ටාර් තරුවට වඩා බැබළෙනවා. අවුරුදු කුමරා සහ කුමරියට තරගයට ආපු බොහෝ දෙනෙක් අද කලා ලෝකයේ ඉහළින්ම වැජඹෙන නළු නළියෝ වෙලා. දෙරණට කෙනෙක් ආවනම් ඔහු කුමක් හෝ දෙයකට දක්ෂයි නම් ඔහු හෝ ඇය කවදාවත් හිස් අතින් පිටවෙලා නැහැ. මම හිතන්නේ ආධුනිකයන්ට අත දුන්න ටෙලිවිෂන් නාලිකාවක් තියනවා නම් එතන ඉදිරියෙන්ම ඉන්නේ TV දෙරණ තමයි. විශේෂයෙන්ම ලක්සිරි වික්‍රමගේ මහතා මෙතනදී මුල් තැනක් අරගෙන නවකයන් වෙනුවෙන් අවස්ථාව උදා කර දෙනවා.
අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන කියන සංකල්පයට TV දෙරණ නියම සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා නේද?
අනිවාර්යයෙන්ම ඔව්. සමහරු තේමා පාඨ යොදා ගන්නේ කිසිම තේරුමක් නැතිව. නමුත් TV දෙරණ එහෙම නැහැ. අපි දෙයක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම කරනවා. අපේ රටේ සංස්කෘතියක් තියෙනවා. ඒ හා බැඳුණු ප්‍රේකෂක ජනතාවක් තමා අපිට ඉන්නේ. එන නවකයන් අපේ රටේ සාමාන්‍ය උදවිය. ඒ අයව තමා අපි ඔපමට්ටම් කරලා ගන්නේ. විදේශීය වැඩසටහන් ඒ ආකාරයටම රූපවාහිනියට අතහරින එක අපිට ලේසියි. නමුත් අපි එහෙම නොකර අපේ සංස්කෘතියත් එක්ක ඒක ගැටගහනවා. මේක ලෙහෙසි පහසු නැහැ. නමුත් TV දෙරණ ඒක එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. ලංකාවේ ප්‍රමිතිගත සම්මාන උළෙලවල වසරේ ජනගත නාලිකාවලට හිමි සම්මානය TV දෙරණ දිනා ගන්නේ මේ දේ හරියට කරපු නිසා. ප්‍රමිතිගත සමීක්ෂණවල වැඩිම ප්‍රේක්ෂකයන් නරඹන නාලිකාව බවට TV දෙරණ පත්වෙන්නේ අපේ මිනිසුන්ගේ හදවතට ගැළපෙන දේවල් කරපු නිසා.
ටීවී දෙරණ අලුත්ම ටෙලි නාට්‍ය ‘හත්වෙනි මනාලිය’ ගැනත් ඔබගේ අදහස දැනගන්න කැමැතියි.
තිලින බොරලැස්ස සහ ජානක සිරිවර්ධන කියන්නේ මුල සිටම දෙරණ එක්ක ඉන්න දෙදෙනෙක්. ඔවුන් සම්බන්ධ වෙලා නිර්මාණය කරන අලුත් නාට්‍ය තමයි හත්වෙනි මනාලිය කියන්නේ. දෙරණෙන්ම බිහි වූ රවීන් කනිෂ්ක තමා මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. රවීන් කනිෂ්ක කියන්නේ ජනතාවගේ සම්මාන පිට පිට හත්වරක් දිනාගත්තු ඩ්‍රීම්ස්ටාර් තරුවක්.
අලුත් දේවල් කරන කොට බයක් දැනෙන්නේ නැත්ද?
ඕනම අලුත් දෙයක් පටන් ගන්න කොට අපි අවධානමක් අරගෙන තමා කරන්නේ. එතකොට බයක් ඇතිවෙන එක සාධාරණයි. නමුත් දවසින් දවස ලැබෙන අත්දැකීම් මාව ශක්තිමත් කරනවා. අපේ ටීම් එකෙන් එන අලුත් අදහස්වලට ඇහුම්කම් දෙනවා. කොහොමටත් හිතේ තිගැස්මෙන් දෙයක් කරනකොට තමා ගැම්මක් තියෙන්නේ. අලුත් අදහස් අලුත් තේමාවක් එක්ක තීරණ අරගෙන ඉස්සරහට එනකොට හරි යන්න පුළුවන්. වරදින්නත් පුළුවන්. නමුත් ටීවී දෙරණ හැම වෙලාවේම දිනුවා.
ලංකාවේ රූපවාහිනියකින් සිනමාවට සම්මාන ලබාදීම ආරම්භ කරන්නේ TV දෙරණ නේද?
අපි කල්පනා කළේ හැම වෙලේම අලුත් දෙයක් කරන්න. ඒ අවදානම TV දෙරණ ගත්තා. හැබැයි ඒ කාර්යය දේශීය හුරුවකට කරන්න අපිට ඕන වුණා. ලංකාවේ රූපවාහිනී ආයතනයක් සිනමාවට සම්මාන දෙන්නේ ප්‍රථම වතාවට. හැබැයි එයත් දේශීය ක්‍රමයකට. කොයි වෙලාවකවත් අපි ඉන්දියානු නළු නිළියන් ගෙනැත් අපේ අයට සම්මාන දුන්නේ නැහැ. අපේ ඉන්නවා විශිෂ්ට මට්ටමේ ප්‍රවීණයන්. ඔවුන්ව වේදිකාවට ගෙනැල්ලා අපේ අලුත් පරම්පරාවට සම්මාන දෙන සංස්කෘතිය තමා ටීවී දෙරණ පැළ කෙරුවේ. එහෙම කළාම අපේ ප්‍රවීණයන්ට ලොකු ගෞරවයක් ලැබෙනවා වගේම නවකයන්ටත් එය ජීවිතයේ අමරණීය අවස්ථාවක් වෙනවා. අපේ සංස්කෘතිය වෙනුවෙන් දෙරණ හැමදාම පෙනී සිටිනවා. ඊට අමතරව දෙරණ මියුසික් එවෝඩ් තුළ සංගීත ක්ෂේත්රයට වගේම මියුසික් වීඩියෝවලටත් ලොකු අගයක් ලබා දුන්නා.
TV දෙරණ මීළඟ අවුරුද්ද වෙනුවෙන් මොනවගේ සූදානමක් ද තිබෙන්නේ?
කරගෙන ආපු හොඳ දේවල් හැමදෙයක්ම ඉස්සරහට කරගෙන යනවා. ජනවාරිවල අලුත් නාට්‍යක් නිර්මාණය වෙනවා. ඒ වගේම දෙරණ නිර්මාණය කළ ජාත්‍යන්තර මට්ටමේ ඇනිමේෂන් චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන්. ඒ වගේම තවත් වෙනස්ම සිංහල චිත්‍රපටයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ජනවාරි මාසය දෙරණ සිනමා සම්මාන උළෙල සහ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පැවැත්වෙනවා. ඒ වගේම දෙරණ සරුංගල් සැණකෙළිය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීමට සූදානම්. ඒ වගේම ක්‍රිකට් කානිවල් එකක් දැකගන්න පුළුවන්. ඩ්‍රීම්ස්ටාර් 13 වන අදියරේ අවසන් තරගය ලබන අවුරුද්දේ පැවැත්වෙනවා. දැවැන්ත සංගීත ප්‍රසංග වගේම දේශපාලනයේ වෙනස්ම වැඩසටහන් දෙරණින් දැකගන්න පුළුවන්.
රූපවාහිනිය කියන සංකල්පය තවත් ඉදිරියට යමින් යූ ටියුබ් අවකාශය තුළ සැරිසරන අලුත් ප්‍රේක්ෂක පිරිසක් බිහිවෙලා ඉන්නවා නේද?
2005 වර්ෂයේ අපි ටීවී සංස්කෘතිය වෙනස් කරමින් තමයි මේ ෆ්ලැට් ෆෝම් එකට එන්නේ. එතැනින් පටන් අරගෙන 2017 අවුරුද්ද වෙනකොට TV දෙරණ රූපවාහිනි නාලිකා අතර අංක එකට එනවා. ඒ ගමන තුළ අපි බොහෝ වෙනස්කම් කළා. රූපවාහිනිය නොබලන ප්‍රේක්ෂකයාව සමාජ මාධ්‍ය අවකාශය වෙත අරගෙන ආවේ TV දෙරණ තමා. අදටත් යූටියුබ් අවකාශයේ වැඩිම ප්‍රේක්ෂක මනාපය දිනාගෙන ඉන්නේ TV දෙරණ. රූපවාහිනියෙන් ඉවත් වෙන හෝ සම්බන්ධ නොවන ප්‍රේක්ෂකයන් සමාජ මාධ්‍ය වෙත රැගෙන ඒමේ වගකීම මුලින්ම ඉටුකළේ TV දෙරණ තමයි.
ටීවී දෙරණේ අනාගත ගමන්මග ගැන මොන වගේ අදහසක් ද තිබෙන්නේ.
ඇත්තටම අපි හැම මොහොතකම සුබවාදීව හැම දෙයක්ම දකිනවා. ඉදිරියටත් අපේ සංස්කෘතිය ඉදිරියෙන් තියාගෙන සෑම වැඩසටහන්ම නිර්මාණය වේවි. අපි වෙනස් කරපු ටෙලිවිෂනය සෑහෙන්න ඉස්සරට ඇවිත් අලුත් අලුත් ප්ලැට්ෆෝම් හැදිලා. එහෙම වුණා කියලා ටෙලිවිෂනය හුදකලා කරන්න බැහැ. අලුත් ප්ලැට්ෆෝම් සමග ටෙලිවිෂනයට එක් කළ යුතුයි. එතකොට තමා ටෙලිවිෂනය තවත් ශක්තිමත් වෙන්නේ. ඒ ශක්තිමත් ගමනට TV දෙරණ සූදානම් කියලා තමයි මම හැම වෙලේම කියන්නේ.

