වොෂින්ටන් ගුවන්තොටුපොළේදී American Airlines ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි
28 November 2026
වොෂින්ටන් ගුවන්තොටුපොළේදී American Airlines ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි
28 November 2026
අමෙරිකාවේ රොනල්ඩ් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළේදී American Airlines ගුවන් සේවයට අයත් Boeing 737 වර්ගයේ මගී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී ඇත.
ඊයේ (27) පස්වරුවේ ගුවන්ගත වීම සඳහා ධාවන පථය දෙසට ගමන් කරමින් සිටියදී මෙම ගුවන් යානා දෙකේ පියාපත් එකිනෙක ගැටී ඇති බව අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) නිවේදනය කරයි.
ඩලස් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ අංක 638 දරන ගුවන් යානය සහ චිකාගෝ බලා පියාසර කිරීමට නියමිතව තිබූ අංක 2152 දරන ගුවන් යානය මෙම අනතුරට මුහුණ පා තිබේ.
එරට වේලාවෙන් පස්වරු 5.00ට පමණ මෙය සිදුව ඇති අතර, ගුවන් නියමුවෙකු විසින් ඒ පිළිබඳව ගුවන් ගමන් පාලක කුලුන වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.
මෙම ගැටීම හේතුවෙන් එක් ගුවන් යානයක පියාපතේ කෙළවර ඉහළට නැමුණු කොටස (Winglet) කැඩී වෙන්වී ගොස් ඇත.
සිද්ධියත් සමඟ ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට නියමිතව තිබූ තවත් ගුවන් යානයක ගොඩබැස්වීම තාවකාලිකව අත්හිටුවීමට ගුවන් ගමන් පාලකවරුන් පියවර ගෙන තිබූ අතර, සෙසු ගුවන් ගමන් සඳහා ද ප්‍රමාදයන් සිදුවිය හැකි බවට දැනුම් දී තිබිණි.
ධාවන පථයට වැටී තිබූ කැඩී ගිය ගුවන් යානා කොටස් ඉවත් කිරීමෙන් අනතුරුව යානා දෙකම නැවතත් මගී පර්යන්තය වෙත රැගෙන ගොස් තිබේ.
එහිදී ගුවන්තොටුපොළේ ගිනි නිවීමේ සහ මුදාගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ යානා දෙකම පරීක්ෂාවට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වුවද, මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති බව අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය තහවුරු කර ඇත.


