brand logo
logo
බෝනොවන රෝග සායන පාළුවීම මරුවාට අත වැනුමකි !

බෝනොවන රෝග සායන පාළුවීම මරුවාට අත වැනුමකි !

30 October 2026

රජයේ රෝහල්වල බෝ නොවන රෝග සායන පාළුවට ගොස් ඇතැයි වෛද්‍යවරු මුසුප්පු වෙති. ඔවුන්ම සඳහන් කරන පරිදි එයට ප්‍රධාන හේතුව එවැනි සායන පිළිබඳ මහජනතාවට තිබෙන නොදැනුවත්කමය. බෝ නොවන රෝග නොව සියලුම රෝග වැඩුමට ප්‍රධාන හේතුව මෙකී නොදැනුවත් කම යැයි සඳහන් කළහොත් සදොස් නොවේමය. අපට දිනපතා අහන්නට ලැබෙනුයේ බෝ නොවන රෝග හේතුවෙන් හිටි හැටියේ අතුරුදන් වන ජීවිත පිළිබඳ දුක්මුසු කතාය. "අද උදේත් හොඳට හිටියා, හිතාගන්නත් බෑ දහවල් වෙනකොට මැරිලා! වැනි කතා නිතර ඇසේ. සැබැවින්ම එය පුදුමයට හේතුවක් නොවේ. බෝ නොවන රෝග රටේ මරණවලින් සියයට අසූවකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුතුය. වයස අවුරුදු තිහේ සිට හැත්තෑව දක්වා අඩු වයස් මරණවලට සියයට දාහතකට පමණ වගකිව යුත්තේ ද බෝ නොවන රෝගය.


බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන මරණවලින් සියයට තිස් හතරකට වැඩි ප්‍රමාණයකට හේතුව හදවත් රෝගය. සියයට දාහතරකට පමණ හේතුව පිළිකාවය. සියයට නවයකට පමණ හේතුව දියවැඩියාවය. සියයට අටකට පමණ හේතුව නිදන්ගත ශ්වසන රෝගය.


මෙකී බොහෝ රෝග මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර කරන කල වළක්වා ගත හැකි බව, එකී රෝගවල සැර අඩුකර ගත හැකි බව වෛද්‍යවරු පුන පුනා කියති. සාමාන්‍යයෙන් වයස අවුරුදු හතළිහත් හතළිස්පහත් අතර කාල රේඛාවට ජීවිතය ගමන් කරන විට මෙවැනි බෝ නොවන රෝග ඇතිවීමේ අවදානම ඉහළ යැයි වෙදැදුරෝ පවසති. ඉහත පෙනෙන පරිදි රජයේ රෝහල්වල බෝනොවන රෝග සායනවලට නොයාමෙන් පැහැදිලි වනුයේ රට වැසියන් බොහෝ දෙනකු එකී අවදානම එතරම් නොතකන බව නොවේද? පෙර බෝ නොවන රෝගවලින් බොහෝ විට මරු දුටුවේ වයස්ගත උදවියය. එහෙත් අද අපට අසන්නට ලැබෙනුයේ තරුණ කැල මතු නොව යොවුන් කැලද බෝ නොවන රෝගවලදී බෙහෙවින් මිය යන හැටිය. මෙයට නොබෝ කලකට පෙර ජයවර්ධනපුර සරසවියේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ තරුණ මහාචාර්යවරයකු මරු වැලඳ ගත්තේ බෝනොවන රෝග පිළිබඳ නොසැලකිල්ල හේතුවෙන් යැයි තතු දන්නෝ සඳහන් කරති. එකී මහාචාර්යවරයා විෂය ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ පොත පත ද පළ කළ විද්වතෙක් විය. තවත් කලකට පෙර විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විෂය පිළිබඳ මහාචාර්යවරයෙක්ද බෝ නොවන රෝග හේතුවෙන් අකල්හි මරු වැලඳ ගත්තේය. එමගින් පැහැදිලි වනුයේ නූගතුන් පමණක් නොව උගතුන් ද බෝ නොවන රෝග නමැති මාරයා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන බවය. ඒ හේතුවෙන් රටේ ඉදිරි ගමනට සිදුවන හානිය කෙතරම් දැයි පමණ කළ නොහැකිය.


ශ්‍රී ලංකාව වාර්ෂිකව සෞඛ්‍ය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට තුනයි දශම හයක් සහ හතරක් අතර මුදලක් වැය කරයි. එසේ වුවද 2025 වසරේ සෞඛ්‍යයේ සඳහා වෙන්කළ මුදලින් විශාල ප්‍රමාණයක් වියදම් නොකර ඉතිරි කරගෙන තිබෙන බවටද චෝදනා මතුවිය.


ඉකුත් වසර හත අටක කාලයක සිට රජයේ රෝහල් පද්ධතිවල විවිධ අඩුපාඩුකම් මතු විය. බෙහෙත් හිඟය, වෛද්‍ය උපකරණ අක්‍රිය වීම හෝ නොමැතිවීම ඒ අතර ප්‍රධාන විය. තවම එකී ගැටලු සම්පූර්ණයෙන් විසඳී නැතැයි නිතර කියන කතාවකි. ඒවා කියනුයේ අප නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේම උදවියයි. රජයේ රෝහල්වල බෝ නොවන රෝග සඳහා පවත්වන සායනවලට යන රෝගීන් නිරන්තරයෙන් නගන මැසිවිල්ලක් නම් රෝහල්වල ප්‍රමාණවත් තරමින් ගුණාත්මක බෙහෙත් නොමැති බවයි. කලකට පෙර මාස දෙකකට තුනකට සෑහෙන්න බෙහෙත් ලබා දුන්නද දැන් ලබාදෙනුයේ යාන්තම් මසකට පමණ සෑහෙන්න බෙහෙත් යැයි ඔවුහු පවසති. ඒ අතර සමහර බෙහෙත් ලබාගත යුත්තේ පිටත ඔසුහල්වලිනි. ඒවාට අධික මිලක් ගෙවිය යුතුය. සායනවලදී තයිරොක්සින් ඌනතාවෙන් පෙළෙන රෝගීන්ට පෙර ලබා දුන් කැල්සියම් වැනි පෙති දැන් බොහෝ විට ලබාගත යුත්තේ අධික මිලක් ගෙවා පිටතිනි. ඔසු පමණක් නොව සමහර වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණවල ගැටලුද තිබේ. පසුගිය කාලයේ දිගින් දිගටම අපට අසන්නට ලැබුණේ පිළිකා රෝහල වැනි තැන්වලද එවැනි උපකරණ හිඟයක් තිබෙන බවය.


මෙකී කරුණු අනුව අපට පෙනෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය බෝනොවන රෝග සායන පිළිබඳ මහජනතාව දැනුවත් කළ යුතු බවය. කලින්ම එවැනි සායනවලට ගොස් සුවපිරික්සුමක යෙදීමේ වැදගත් බව ජනතාවට සඳහන් කළ යුතුය. ජනතාව ඒ ආකාරයට දැනුවත් කළ හැකි යාන්ත්‍රණයක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඊළඟ පියවර බෝ නොවන රෝග සායන සඳහා අවශ්‍ය පහසුකම් නොපමාව ලබාදීමය. ඒ සඳහා මුදල් නැතැයි කිව නොහැකිය. එයට හේතුව 2025 වසරේ දී ද සෞඛ්‍ය සඳහා වෙන්කළ මුදලින් විසල් ප්‍රමාණයක් ආණ්ඩුව ඉතිරි කරගැනීමය. ඒ අනුව පෙනෙන්නට තිබෙන්නේ නිසි වැඩපිළිවෙළක් නොමැතිකම ය. අප දන්නා පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පළපුරුදු ඇත්තෝ, උපදේශකයෝ ඕනෑ තරම් සිටිති. ඔවුන්ගෙන් උපදෙස් නොලැබෙන්නේ දැයි යන සැකය විටෙක අපට ඇතිවේ.

 

More News..