ෆේස්බුක් පෝස්ට් දමා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක ජාවාරමක්
16 July 2026 | නයෝමි කරුණාසිංහ
ෆේස්බුක් පෝස්ට් දමා විකුණන වාහන යළි කොල්ලකන සංවිධානාත්මක ජාවාරමක්
16 July 2026 | නයෝමි කරුණාසිංහ
මේ දිනවල ෆේස්බුක් හි වැඩි වශයෙන්ම සංසරණය වන්නේ වාහන විකිණීම්වලට අදාළ පෝස්ට් ය. විශේෂයෙන් වාහන ආනයනය කරන ආයතනෙවල නියෝජිතයින් වාහනයේ මිල ගණන් සහ ලීසිං පහසුකම් මෙන්ම වාහනය මිලදී ගැනීමේදී ලැබෙන රක්ෂණාවරණයන්, වගකීම්, සර්විස් වාර ඇතුළු මූලික විස්තර ගැන එමගින් ප්‍රසිද්ධ කර ඇත්තේ අදාළ නියෝජිතයාගේ දුරකථන අංකය ද ප්‍රසිද්ධ කරමිනි. මෙය වර්තමානයේ නවීන තාක්ෂණයත් සමග යහපත් ක්‍රමවේදයක් වේ. නමුත් මුහුණු පොත ඔස්සේ දේපළ හා ඉඩකඩම් විකිණීම් මෙන්ම යාන වාහන විකිණීම් ගැන ෆේස්බුක් ගෘප් මගින් දැන්වීම් පළකිරීම ඇතැම් පිරිස් සොරකමට මංකොල්ල කෑම්වලට හා වංචාවට ලක්කිරීමට තෝතැන්නක් කරගෙන ඇත. ඒ ආකාරයෙන් ෆේස්බුක් ඔස්සේ වාහන විකුණුම් දැන්වීම් පළකර වාහන විකිණීමෙන් පසු එම වාහනයම යළි කොල්ල කෑමේ ජාවාරමක් ගැන සුලමුල හෙළිකරගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් විය.
පොලිස්පති ප්‍රියන්ත විරසූරිය සෑම සිකුරාදා දිනකම මහජන දිනය පවත්වනු ලබන්නේ පොලිසියෙන් අසාධාරණයට ලක්වන ජනතාවට සෙතක් කිරීමේ අරමුණිනි. පොලිසියෙන් අසාධාරණයක් වන බොහෝ දෙනෙකු සිකුරාදා දිනවල පොලිස්පතිවරයා ඍජුවම හමුවී මේ ප්‍රශ්න ගැන පැමිණිලි කරති. එපමණක් නොව එම අවස්ථාවේදීම උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධ කර එම පැමිණිලිකරුවන්ට වූ අසාධාරණයන්ට සාධාරණයක් ඉටුකිරීමටද පොලිස්පතිවරයා මැළි වන්නේ ද නැත.
මේ ආකාරයෙන් පසුගිය 10 වැනිදා පුද්ගලයෙකු පොලිස්පතිවරයා හමුවීමට පැමිණියේය.
“සර්. මම රුපියල් ලක්ෂ හතළිහක් දීලා වෑන් රථයක් මිලදී ගත්තා. ඒ මිලදී අරන් වෑන් රථය අරගෙන එන අතරතුර පිරිසක් පැමිණ ගිනි අවි පෙන්වා මට තර්ජනය කරලා වෑන් රථය පැහැරගෙන ගියා. මම මේ ගැන පැමිණිලි කරන්න ගම්පහ පොලිසියට ගියත් පොලිසිය මගේ පැමිණිල්ල භාරගන්න බැහැ කියලා හරවා එව්වා’’ යැයි එම පුද්ගලයා පොලිස්පතිවරයා හමුවේ සඳහන් කළේය.
මෙහිදී පොලිස්පතිවරයා විමසා තිබුණේ මේ වෑන් රථය මිලදී ගත් ස්ථානය ගැනය. අදාළ වෑන් රථය බැලුම්මහර මුදුන්ගොඩ ප්‍රදේශයේ වාහන අලෙවිසැල් හිමිකරුවකු මගින් මිලදී ගත් බවද ඔහු සඳහන් කර ඇත.
මේ අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙම පැමිණිල්ල බස්නාහිර පළාත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරලීමට යොමුකර තිබිණි.
එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී ධර්මරත්නගේ අධික්ෂණය යටතේ පරීක්ෂණ ආරම්භ කළ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මෙහිදී අනාවරණය වී තිබුණේ මුහුණු පොත මගින් ඡායාරූප හා විස්තර පළකරන ලද මෙම වෑන් රථය පුද්ගලයින් කිහිප දෙනෙකුටම අලෙවි කර, පසුව එය මිලදී ගත් පුද්ගලයන්ගෙන්, ඒ සෑම අවස්ථාවකම කොල්ල කා අත්පත් කරගෙන ඇති බවය.
මෙම වංචාවාට හා කොල්ලයට සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවකු විමර්ශන නිලධාරීන් යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවය. එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඔවුන් වාහන විකිණීම සඳහා FACE BOOK ඔස්සේ දැන්වීම් පළකර, වාහන විකිණීමෙන් පසු සංවිධානාත්මකව පසුපස හඹා ගොස් එම වාහන පැහැරගන්නා බවය.
මේ අනුව මෙම වංචාව හා කොල්ලයන් මෙහෙයවන ලද වාහන අලෙවිසැල් හිමිකරු ඇතුළු සැකකරුවන් පිරිසක් ගැනද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබුණත් ඔවුන් සොයා ඔවුන් පදිංචි ස්ථානවලට හා ව්‍යාපාරික ස්ථානයට ගියත් වාහන අලෙවිසැල් හිමිකරු ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් සියලු දෙනාම ප්‍රදේශයෙන් පළා ගොස් තිබිණි.
නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවිසැල් හිමිකරුගේ නිවස බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා (14 වැනිදා) සෝදිසි කිරිමේදි එහි ජීප් රථයක් නවතා තබා ඇත. අදාළ රථය පරීක්ෂාවට ලක්කිරීමේදී එහි තිබූ කඩු 02 ක්, පිස්තෝල මැගසින් 02 ක්, එම ජීව උණ්ඩ 03 ක් සොයාගෙන ඇත. මෙම ජීප් රථය හා අවි ආයුධ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
මොවුන් මෙවැනි ආකාරයේම සිදුකරන ලද පැහැර ගැනීම් දෙකක් සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇති බවත්, මේ ආකාරයෙන් තවත් කොල්ලකෑම් රැසක්ම මොවුන් විසින් සිදුකර ඇති බවටත් පොලිසිය සැකකරයි.
මෙම කොල්ලයට සම්බන්ධ බවට අනාවරණය කරගත් ව්‍යාපාරිකයා ඇතුළු සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල්ව විමර්ශන සිදුකරති.
අත්අඩංගුවට පත් සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (16 වැනිදා) තෙක් බන්ධනාගාර ගතකර ඇත.

