වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි
22 July 2026
වසරේ මුල් මාස හය තුළ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි
22 July 2026
2026 වසරේ මුල් මාස හය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවා තිබේ.
ඒ අනුව, 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා යන අංශ දෙකෙහිම සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,012.24ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 8ක වර්ධනයකි.
2026 වසරේ පළමු මාස හය තුළ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 7,073.31ක් ලෙස සටහන් වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 8.95ක ඉහළ යාමකි.
එම කාලය තුළ සේවා අපනයන අංශයද සියයට 4.49ක වර්ධනයක් අත්කර ගනිමින් අමෙරිකානු ඩොලර් මිලියන 1,938.94ක ආදායමක් උපයා තිබේ.
2026 ජූනි මාසයේදීද සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,658.62ක් ලෙස සටහන් වී ඇති අතර, එය පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව සියයට 12.53ක වර්ධනයකි.
ඉන් භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,314.10ක් ලෙස සටහන් වී ඇති අතර, එය සියයට 15.09ක වර්ධනයකි.
සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 344.52ක් ලෙස සටහන් වී ඇති අතර, එය සියයට 3.75ක වර්ධනයකි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම් වැනි දැනුම මත පදනම් වූ සේවා කර්මාන්ත අපනයන ආදායම විවිධාංගීකරණය කිරීමට සහ විදේශ විනිමය ඉපැයීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ පවතින විවිධ අභියෝග හමුවේ වුවද අපනයනකරුවන් පෙන්වන තරගකාරීත්වය මෙම වර්ධනයට මූලික වූ බවයි.
එමෙන්ම, 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) හරහා අපනයන ක්ෂේත්‍රයේ නවෝත්පාදන, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

