brand logo
logo
තරගයට ඔන්න මෙන්න කියලා මම එක්තැන් වුණා

තරගයට ඔන්න මෙන්න කියලා මම එක්තැන් වුණා

13 October 2026 | ක්‍රිශාන්ත පුෂ්පකුමාර


ජීවිතයේ ඉලක්ක අත් නොහැරීම හොඳ පුරුද්දක්. ඒ වගේම ඉලක්ක අත් නොහරින්නන් ඒ ඉලක්කය පසුපස හඹා යනවා. නිමේෂා ප්‍රේමචන්ද්‍ර කියන්නෙත් එවන් යුවතියක්. වාසනාව ගැන හිතනවට වඩා ඇය පුංචි කාලයේ සිටම කළේ දක්ෂතාවලට මුල් තැනක් දෙමින් ඉලක්ක හඹා යාමයි. අවසානයේ ඇය ලෝකයේ රටවල් විස්සක් පරදවමින් 12 වැනි ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ දිනාගන්නවා. ජයග්‍රහණය ලබා දිවයිනට පැමිණි විගසම පිනිපලස සමග කතා කරන්න ඇය අමතක කළේ නැහැ.


මුලින්ම ඔබ ගැන දැනගන්න කැමැතියි?


මගේ ගම කළුතර. ඉගෙන ගත්තේ කළුතර බාලිකාවේ. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි. මගේ සැමියා මලිත් ගෙහාන් විතාන. ඔහු සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව කරනවා.


මතකද ඒ කාලේ තිබුණු දක්ෂතා?


මට ලස්සනට නටන්න පුළුවන්. අම්මා, තාත්තා හින්දි සින්දු දාලා මට නටන්න කියනවා. ඉස්කෝලේ බෑන්ඩ් ලීඩර් වෙලා උන්නා. ඒ වගේම දැල් පන්දු ක්‍රීඩාවෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබුවා. පිහිනුම්වලිනුත් ජයග්‍රහණය ලැබුවා. දක්ෂතා ගොඩාක් තිබුණා.


කවුරු වෙන්නද හිතාගෙන උන්නේ?


අම්මට මාව ලෝයර් කෙනෙක් කරන්න ඕන වුණාට මට ඕන වුණේ හවුස් වයිෆ් කෙනෙක් වෙන්න. රුහුණු විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න ගමන් කුකරි, හෙයාර් ඇන්ඩ් බියුටි වගේ දේවල් කළා.


කොහොමද ඔබ ජනප්‍රිය කෙනෙක් වෙන්නේ?


මොනවා කළත් රඟපාන්න ඕන කියන කෑල්ලත් මගේ හිතේ තිබුණා. 2007 වසරේ අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරගෙට ඉදිරිපත් වෙලා තුන්වැනි තැන දිනාගත්තා. නැවතත් 2008 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරි තරගයේ තුන්වැනි තැන ලැබුවා. එතැනදී මට රූපවාහිනියේ නිවේදිකාවක් වීමේ අවස්ථාව ලැබුණා. එදා ඉඳන් අද වෙනකම් රූපවාහිනියේ නිවේදිකාවක් හැටියට වැඩ කරනවා.


එතකොට පැජන්ට්වලට කැමැත්තක් එන්නේ කොහොමද?


2007 අවුරුද්දේ සිංහ කුමරිය තරගෙට ඉදිරිපත් වුණා. එතනදී මම ජයග්‍රාහිකාව වුණා. එදා මගේ අම්මා මගේ පස්සෙන්ම ඉඳලා මට උදව් කළා. අපි මහ ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. අම්ම මාව තරගවලට අරගෙන ගිහින් පැය ගණන් රස්තියාදු වෙවී උන්නා. සමහ දවස්වල එයාට කන්නත් නැහැ. මගේ බඩ පුරවලා එයා බඩගින්නේ උන්න අවස්ථා තිබුණා. ඒ තරම් කැප කිරීමක් කරලා තමයි මෙතෙන්ට ආවේ.


ඔබ වැනි රූමත් යුවතියන්ට මේ ක්ෂේත්‍රයේ හොඳ ඉල්ලුමක් තියෙනවා නේද?


මට අවශ්‍ය වුණේ මේ ගමන හරි විදිහට යන්න. 2010 වසරේ ශ්‍රීලංකන් එයාර් ලයින් ඉන්ටර්වීව් ගිහින් මම සමත් වුණා. සමහර යුවතියෝ මැති ඇමැතිවරුන්ගේ ලියුම් අරන් ඉන්ටර්වීව් එක පාස් වෙනකොට මම නියම විදියට සමත් වුණා. ඇත්තටම එදා ඉන්ටර්වීව් එකට යන්න මට සාරියක්වත් තිබුණේ නැහැ. අක්කගේ සාරියක් ඇඳගෙන මම එදා ගියේ. නමුත් ඒ රැකියාව බාරගන්න මගේ හිත ඉඩ දුන්නේ නැහැ.


නමුත් ඔබ ඔබේ ඉලක්ක අත්හැරියේ නැහැ නේද?


සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙනවා. ඒ වගේම 2008 ජනවරි පළමුවැනිදා ප්‍රථම ටෙලිනාට්‍යය රොසලිනා එක්ක සම්බන්ධ වෙනවා. ප්‍රවීණ නළු නිළියෝ එක්ක අභියෝගාත්මක චරිතයක් රඟපෑවේ. ඒ නාට්‍යයේ මට මහේන්ද්‍ර පෙරේරාගේ බිරිඳ හැටියට රඟපාන්න තිබුණා. ඒ රඟපෑම දැකලා මහේන්ද්‍ර අයියා මාව ඔහුගේ පන්තියට අරගෙන රුපියලක්වත් ගන්නේ නැතුව ඉගැන්නුවා. ඊට පස්සේ ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ගොඩාක් නාට්‍යවල රඟපෑවා. රන්තිලිවැව ප්‍රේමාගේ චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. නීල පබළු වගේ නාට්‍ය හරහා මගේ හීනය සැබෑ වුණා. අවසන් වශයෙන් මම රඟපෑවේ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයේ.


ඇයි රඟපෑම නතර කරන්නේ?


නතර කළේ නැහැ. පහුගිය කාලේ මම නැවතත් අධ්‍යාපනයට මුල් තැනක් දුන්නා.  


නමුත් අද ඔබ මේ මොහොත වනවිට ජාත්‍යන්තරයම දන්න කෙනෙක් වෙලා?


පුංචි කාලේ ඉඳලා පැජන්ට්වලට ආශා වුණාට ලංකාවේ ඒවා පවත්වන ආකාරය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. 2024 විවාහ වුණාට පස්සේ සැමියා තමා යෝජනා කරන්නේ විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙන්න කියලා. රුක්මාල් සේනානායක මහතා සහ තාරක ගුරුකන්ද යන මහත්වරු මට ලබාදුන්න විශ්වාසය හා මගපෙන්වීම නිසා මම මේ ඉවෙන්ට් එක කරනවා කියලා හිතාගත්තා.


මේ තරගය තුළ තිබූ අභියෝග මොන වගේද?


අවසන් තරගය වෙනකන්ම අභියෝගයක් තිබුණා. මොකද මම ලෑස්ති වෙලා උන්නු, ගින්දර හා වතුර සමග තරග ඉසව්ව කරන්න දෙන්න බැහැ කිව්වා. ඒ නිසා පැය දෙකක් තුළ නිර්මාණය කරගත්තු නර්තනයක් තමා මට ඉදිරිපත් කරන්න වුණේ. නමුත් ජයග්‍රහණය ලැබුණා.


වෙනත් අභියෝග මොනවාද?


ඉවෙන්ට් එකට යන්න සති කීපයකට කලින් මම හොඳටම අසනීප වුණා. කොන්දේ පේශියක් ඇදිලා සති කීපයක් ඇඳේ එක්තැන් වෙලා උන්නා.


කොහොමද එවේලේ ඔබට දැනුණු හැඟීම?


මට හිතාගන්න බැහැ. තව සති කීපයකින් පැජන්ට් එක. මගේ සැමියා මාව ගෙදර ගෙනත් තෙල් ගාලා සිංහල බෙහෙත් කරලා සති කීපයකින් නැගිට්ටෙව්වා. ඔහු නැත්නම් ඇත්තටම අද මම මේ තරගය දිනන්නේ නැහැ.


අනෙක් රටවලින් පැමිණි තරගකාරියන් අතරින් ඔබට තිබුණ තැන මොන වගේද?


රටවල් විස්සකින් පමණ ආපු තරගකරුවන් ආවේ ගෲප් එකක් හැටියට. තරගකාරියන්ට උදව් කරන්න කණ්ඩායමක් ඉන්නවා. ලංකාව වෙනුවෙන් ගිය මට හස්බන්ඩ් විතරයි. මම තනියම ඇඳගෙන මේක්-අප් දාගත්තා. ලෙකු අසරණකමක් දැනුණත් හිතේ හයිය දශමයකින්වත් අඩුවුණේ නැහැ.


තරගය කොයිතරම් දවස් ප්‍රමාණයක් තිබුණද?


සැප්තැම්බර් 25 පටන් ගත්තු තරගය ඔක්තෝබර් දෙක දක්වා තිබුණා. සතියක් පුරා ඔවුන් අපිව විනිශ්චය කරනවා. සංවිධායක මණ්ඩලය පවා ඉතා හොඳින් සැලකුවා. ඒ රටේ ටැක්සි රියැදුරන් පවා ලබාදුන් සහයෝගය වටිනවා. දවස් කීපයක් යනකොට පිලිපීනයේ ජනතාව මගේ ප්‍රේක්ෂකයන් බවට පත් වුණා. ඒ හෝටලයේ ඉඩකඩ ප්‍රශ්නය මතුවෙලා මටයි, සැමියටයි එක කාමරයක ඉන්න පුළුවන්ද ඇහුවාම මම ඔවුන්ට කරන උදව්වක් හැටියට ඒකත් කළා. ඒ දේවල් තුළ මගේ සහ සැමියාගේ ඇති අවබෝධය හා දෙන්නට දෙන්නා උදව් කරගත් ආකාරයට ඔවුන් පැහැදුනා. 

කොහොමද මෙහි තරගකාරීත්වය.


තරගයට ඉදිරිපත් වුණ හැම කෙනෙක්ම උගත්, බුද්ධිමත් අය. කාන්තාවක් සහ මවක් හැටියට ලෝකය දකින්නේ කොහොමද කියන කාරණය තමයි මෙහි ප්‍රධාන අරමුණ වුණේ. මේ වෙනුවෙන් තමා ඔවුන් තරගය පුරා ලකුණු ලබාදුන්නේ. මම හිතන්නේ මගේ ආකල්ප, විනය හැසිරීම වැනි කාරණාවලට ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් ලැබුණා.


ඔබේ සැමියාවත් ඔවුන් අගය කළා නේද?


මම විවාහ වෙනකම් මගේ අම්මා මාව ඇහැක් වගේ බලාගත්තා. ඊට පස්සේ මගේ සැමියා ඊටත් වඩා හොඳින් මගේ අත අල්ලගත්තා. මුළු තරගය පුරා උන්න අය ඒක දැක්කා. ඒ වෙනුවෙන් ඔහුට Most Supportive Husband හැටියට අගය කිරීමක් ලැබුණා. 


ඒ රටේ කෑමබීමවලට හුරුවෙන්න පුළුවන් වුණාද?


ඇත්තටම ඒ රටේ මට කන්න දෙයක් තිබුණේ නැහැ. බත් ඇරෙන්න තිබුණේ බීෆ් සහ ෆෝක් විතරයි. චිකන් අඩුයි. කොහොමටත් මම බත් කන්නේ නැහැ කියලා තීරණය කරලා තිබුණේ. මගේ සැමියා ගිහින් පලතුරු ගෙනත් ශීතකරණය පුරෝනවා. එහේ උන්න සෑම දිනකම මට කන්න වුණේ පලතුරු.


මීට ප්‍රථම මේ කිරුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබුණේ නැහැ නේද?


ලෝක විවාහක සංචාරක රූ රැජන කිරුළ ශ්‍රී ලංකාවේ කවුරුවත් ජයග්‍රහණය කරලා නැහැ. රට වෙනුවෙන් යමක් කළා නේද කියලා අභිමානය හිතේ තියෙනවා.


ලංකාව ගැන ඒ අයට තිබුණේ මොන වගේ අදහසක්ද?


ලංකාව කියන්නේ සංචාරක ක්ෂේත්‍රය මුල් කරගත්තු රටක්. නමුත් ලංකාව ගැන නියම මැසේජ් එක ලෝකෙට ගිහින් නැහැ. සමහර රටවල අය ලංකාව ගැන මොකුත්ම දන්නේ නැහැ. මම ඔවුන්ට අපේ රටේ සංස්කෘතිය ගැන විශේෂත්වය ගැන කියලා දුන්නා. ඔවුන් ලංකාවට එන්න ඇති කැමැත්ත පෙන්නුවා.


දැන් ඔබ 12 වැනි ලෝක විවාහක සංචාරක රූ රැජන.. මෙතැනින් එහාට මොකද වෙන්නේ


ඇත්තටම දැන් මගේ මතය ලෝකයට ගෙන යා යුතුයි. පසුගිය කාලේ දිගටම මම දරුවෝ ගැන රිසර්ච් එකක් කළා. විශේෂයෙන්ම ගුරුවරියක් නිසා මම දන්නවා දරුවන්ගේ ආකල්ප ගැන. ලංකාවේ දිළිඳුකම නිසා අධ්‍යාපනය අත්හරින දරුවෝ ඉන්නවා. ඒ වගේම දෙමාපියන්ගේ ප්‍රශ්න නිසා දරුවන්ට ජීවිතේ අත්හැරෙනවා. මේ වෙනුවෙන් නිමේෂා ප්‍රේමචන්ද්‍ර පදනම පිහිටලා, ජාත්‍යන්තර වශයෙන් ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතුයි.


ඒ කියන්නේ රංගනය අත්හැරෙයිද?


එහෙම වෙන්නේ නැහැ. ඊයේත් චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒ වගේම නිවේදිකාවක් හැටියට මගේ වෘත්තීය කරනවා. හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා.


සමහරු චෝදනා කරනවා පැජන්ට් දින්නේ සල්ලි විසිකරලා කියලා


මේ ක්ෂේත්‍රය තුළ සල්ලි විසි කරලා කරන වැඩ මම දැකලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර කිරුළක් එහෙම දිනන්න බැහැ. අනික මට වියදම් කරන්න සල්ලි නැහැ. අතීතයේ ඉඳන්ම මම වැඩ කළේ හෘදසාක්ෂියට එකඟව. කවදාවත් මට කැම්පේන් කරන්න ඕන නොවුණේ හැමෝගෙම ආශීර්වාදය ලැබුණ නිසා.


 ඔබ රටට ණය නැහැ නේද?


ඇත්තටම ඔබ හරි. මොකද රට නියෝජනය කරන්න මම යන්නේ අතින් වියදම් කරගෙන. නමුත් රටක් හැටියට මීට වඩා අපට උදව් කරනවා නම් හරිම වටිනවා. මොකද අපි ජාත්‍යන්තරයේ බබළවන්නේ ශ්‍රී ලංකා නාමය. මම මේ කිරුළ දිනුවට පස්සේ බොහෝ දෙනෙක්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනවා. අනාගතයේ තරග සඳහා යන අයට එය ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

 

More News..