brand logo
logo
 සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රධානය කරයි

සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රධානය කරයි

04 July 2026

සුදුසුකම් සපුරන ලද සෞඛ්‍ය කාර්ය සහායකයින් 627කට පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අද (04) කොළඹ ටවර් පරිශ්‍රයේදී සිදුකෙරිණි.


ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.


මෙම පත්වීම් ලැබූ සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ වන විටත් රාජ්‍ය සේවයේ පුරප්පාඩු සලකා බලා 160,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට එක් කරගෙන ඇති බවය.


රෝහල් පද්ධතියේ පවතින සැබෑ පුරප්පාඩු හඳුනාගෙන ඒ ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතාවයන්ට අනුව බඳවා ගැනීම් සිදුවන බවත් ඒ සඳහා විවෘත පුවත්පත් දැන්වීම් පළ කරමින් සෑම අයදුම්කරුවෙකුටම සමාන අවසථාවක් ලබා දෙන ක්‍රමවේදයක් අනුගමනය කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.


එහිදී පසුගිය වසරේ දෙසැම්බර් 8 දින පළ කරන ලද පුවත්පත් දැන්වීමට අයදුම්පත් 91,437ක් ලැබී තිබූ අතර මූලික සුදුසුකම් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අයදුම්පත් 2,737ක් ප්‍රතික්ෂේප කිරීමටත් සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා ඉතිරි සුදුසුකම් ලත් අයදුම්කරුවන් 88,736 දෙනා අතරින් පළමු කණ්ඩායම ලෙස මෙම පිරිස තෝරා ගනු ලැබූ බවද සඳහන් කළේය.


තෝරා ගනු ලැබූ මෙම සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම සඳහා ලබන 7 වන දින සිට 9 වැනි දින දක්වා තෙදින විශේෂ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම පුහුණුවද සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහළ, කාසල් වීදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල්වල පැවැත්වීමටද නියමිතය.

 

More News..