brand logo
logo
නිල සංචිත ඩොලර් බිලියන 6.9 ට නගී-මහ බැංකුව කියයි

නිල සංචිත ඩොලර් බිලියන 6.9 ට නගී-මහ බැංකුව කියයි

02 October 2026 | සාලිය කුමාර ගුණසේකර


මහ බැංකුව විසින් සිදුකළ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන්, මේ වසරේ අගෝස්තු මාසය වන විටදී දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන හයයි දශම නමයක් (6.9) දක්වා ඉහළ ගොස් තිබේ.


නිල සංචිත ප්‍රමාණය සඳහා චීන මහජන බැංකුව සමග වන විදේශ විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


මේ වසරේ සැප්තැම්බර් මාසය අවසානය දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට හයයි දශම තුනකින් (6.3%) අවප්‍රමාණය වී තිබේ.


අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම මේ වසරේ අගෝස්තු මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 133 ක අතිරික්තයක් වාර්තා කරන ලදි. මෙම තත්ත්වයට ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළෙඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය වූ බවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අගෝස්තු මාසය සඳහා නිකුත් කරන ලද විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවේ සඳහන්කර තිබේ.


මේ වසරේ අගෝස්තු මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් 749 ක් දක්වා ඉකුත් වසරේ (2025) අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. ඉකුත් අගෝස්තු මාසයේදී සේවා ගිණුම එක්සත් ජනපද ඩොලර් මිලියන 220 ක අතිරික්තයක් වාර්තා කර තිබේ. එය ඉකුත් වසරේ (2025) අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 24.4 ක අඩුවීමකි.

 

More News..