brand logo
logo
ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක් - අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත්කිරීම බරපතළ වරදක් - අස්ගිරි ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

07 October 2026

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ හැඳ සිටි චීවරය ඉවත්කර, ගිහි ඇඳුමින් උපැවිදි තත්ත්වයට පත් කිරීම බරපතළ වරදක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ අවධාරණය කළේය.


මාධ්‍ය වෙත අද (7) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන් වහන්සේ සඳහන් කළේ, ඥානසාර හිමි මෙම තත්ත්වයට පත්කිරීම පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව මහා සංඝරත්නය වශයෙන් සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බවය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළකළ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ,

"ඥානසාර හිමියෝ සම්බන්ධයෙන් අධිකරණය ලබා දී ඇති තීන්දුව පිළිබඳව අපේ කිසිම ගැටලුවක් නැහැ. ඒ තීන්දුවට අපි ගරු කරනවා.

නමුත් බන්ධනාගාර ගත කිරීමෙන් පසු උන්වහන්සේ නැවත අධිකරණයට ඉදිරිපත් කරද්දි උපැවිදි කොට ගිහි ඇඳුමෙන් අදාළ කටයුතු සිදු කිරීම බන්ධනාගාර ආඥා පනතට අනුව නෛතික වශයෙන් වරදක් බව එය පරිශීලනය කිරීමෙන් පසු අපට පෙනී යනවා.

බන්ධනාගාර ආඥා පනතට අනුව පෙර භාවිතා කළ ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව බන්ධනාගාර අධිකාරිය මගින් සිදුකර තිබෙන කාර්ය ඉතාමත් බරපතළයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලැබී ඇති බලතල වගේම, සාම්ප්‍රධායික වශයෙන් අපේ සිරිත් නීතිය, පෞරාණික නීති පද්ධතිය අධිකරණය මගින් පිළිගන්නවා.

නමුත් එම තත්ත්වය නොසලකා හරිමින් අපේ ඥානසාර හමුදුරුවෝ උපැවැදි කිරීම තුළින් ශාසනික වශයෙන් නරක පූර්වාදර්ශයක් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අපි මේ වනවිටත් ඒ නීතිමය අවශ්‍යතා උඩ ඒ පිළිබඳව වඩා අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා.

දේශපාලන මතවාදවලින් බැහැරව, ශාසනික වශයෙන් කල්පනා කිරීමේදී අධිකරණයට ඉදිරිපත්කරන අවස්ථාවට උපැවිදිකොට ඉදිරිපත් කිරීම බරපතළ වරදක්.

මෙම උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට උන්වහන්සේ නැවතත් පැවිදි කිරීමේ කාර්යයක් අවශ්‍ය නම්, එය කළයුතු වෙනවා.

අපට රෝම ලන්දේසි නීතිය මගින් අපට තිබෙන්නේ දඬුවම්දීමේ සම්ප්‍රධායක්. නමුත් බෞද්ධ නීතිය අනුව බැලුවොත් අපට තිබෙන්නේ වරද කළ පුද්ගලයාට සමාව දී ඔහු නැවත යහමගට ගැනීමේ සම්ප්‍රධායක්.

නමුත් අපි පිළිගත් නීතියට ගරු කරමින් ඒ කටයුත්ත කරනවා වගේම අපි විශේෂ අවධානය යොමු කරන්නේ, බන්ධනාගාරයෙන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ආඥා පනත්වල සඳහන් ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය වශයෙන් ගත යුතු පියවර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ශාසනික වශයෙන් ගත්කල මෙය බරපතළ වරදක්" යැයි උන් වහන්සේ පැවසූහ.

 

More News..