Best News Website award
brand logo
logo
සෞදියේදී දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකුට රුපියල් ලක්ෂ 569ක මුදලක්

සෞදියේදී දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකුට රුපියල් ලක්ෂ 569ක මුදලක්

13 November 2026


සෞදි අරාබියේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න මුදලක් පිරිනැමීම අද (13) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි.


කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී දේවප්‍රිය ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුදල් පිරිනැමීම සිදු විය.


අදාළ ශ්‍රමිකයින්ට නියමිත කාලයට නොගෙවූ වැටුප් සහ දීමනා ලෙස සෞදි රියාල් 639,381ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 569ක් පමණ) අයකරගෙන ඔවුන් වෙත පිරිනැමීමට කටයුතු කර තිබේ.


මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය තුළ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා කම්කරු සුබසාධන අංශය විසින් සිදු කරන ලද නීත්‍යානුකූල මැදිහත්වීම්, මෙහෙයුම් සහ මුදාගැනීම් මගින් මෙම මුදල අයකරගෙන තිබේ.


එමෙන්ම, නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුදාගෙන යළි ශ්‍රී ලංකාවට එවීමට ද එම අංශය කටයුතු කර ඇත.


එලෙස අයකරගත් ශ්‍රමිකයින්ට හිමි මුදල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත එවා තිබූ අතර, ඒ අනුව රුපියල් ලක්ෂ 569ක් පමණ වූ එම හිමිකම් මුදල් අද දින අදාළ ශ්‍රමිකයින් වෙත පිරිනැමිණි.


රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා කම්කරු සුබසාධන අංශයේ උපදේශක මංගල රන්දෙනිය මහතා ඇතුළු නිලධාරීන් සේවා යෝජකයින් සමඟ සෘජුව සාකච්ඡා කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් මෙම මුදල් අයකර ගැනීමට හැකි වී තිබේ.


ඊට අමතරව, ප්‍රමාද වූ හෝ නොගෙවූ වැටුප් සහ සේවා යෝජකයින් විසින් ගෙවිය යුතු අනෙකුත් රැකියා සම්බන්ධ ගෙවීම් පිළිබඳ පැමිණිලි විසඳීම සඳහා ද කාර්යාංශයේ මඟපෙන්වීම හා උපදෙස් මත තානාපති කාර්යාලයේ කම්කරු හා සුබසාධන අංශය අවස්ථා ගණනාවකදී සෘජුව මැදිහත් වී තිබේ.


ඉදිරියේදී ද මෙවැනි ගැටලුවලට මුහුණ දෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙස කාර්යාංශය විසින් උපදෙස් ලබා දී ඇත.

 

 

More News..