අලි- මිනිස් ගැටුම් ඊයේ - අද සහ හෙට
03 July 2025
අලි- මිනිස් ගැටුම් ඊයේ - අද සහ හෙට
03 July 2025
1948දී රොබට් ස්ටෑන්ඩිෂ් යන ආරූඪ නමින් ජෝර්ජ් ගෙරාටි නම් බ්‍රිතාන්‍ය ලේඛකයා Elephant Walk නවකතාව ලිව්වේය. එය ඒ දිනවල සිලෝන් නම් වූ අපේ රටේ උඩරට තේ වතුහිමියකු හා ඔහුගේ බිරිඳ පසුබිම් කරගෙන ලියැවුණේ ජනප්‍රියත්වයටද පත් වූයේය. 1954 දී හොලිවුඩ් චිත්‍රපටයකටද නැගුණු එහි බිරිඳගේ චරිතය රඟපෑවේ සිනමා වංශ කතාවේ කීර්තිමත් නිළියක වූ එලිසබත් ටේලර්ය. අලි පාර නමින් සිංහලයටද නැගුණු මේ නවකතාවෙන් කියවුණේ අලි-මිනිස් ගැටුම් ගැනය.
මේ නවකතාව ලියවෙන්නේ බ්‍රිතාන්‍ය වතුහිමියකු කඳුකරයේ අලිමංකඩක් අවහිර කොට තැනූ දැවැන්ත බංගලාවක් පසුබිම් කරගෙනය. චිත්‍රපටයේදී නම් කතාවේ අවසානයේ ඉතා බිහිසුණු ප්‍රහාරයක් බංගලාවට එල්ල කරන අලි, ගොඩනැගිල්ල මතු නොව එහි ජීවත් වූ මිනිසුන්ද විනාශ කරති. ඉහත කී පරිදි මේ නවකතාව ලියවුණේ 1948 දීය. චිත්‍රපටය තැනුණේ 1954දීය. එහෙත් ඊට අවුරුදු හැත්තෑපහකට පසු 2025 දීත් නවකතාවේ හා චිත්‍රපටයේ කතාව නැවත නැවත රට තුළ ලියවෙයි. රඟ දැක්වෙයි.
මේ අවුරුද්දේ මෙතෙක් ගෙවී ඇති හයමාසයේදී පමණක් අලි-මිනිස් ගැටුම්වලින් වනඅලි එකසිය හැට අටක්ද (168) මිනිසුන් හැටතුනක්ද (63) ජීවිතක්ෂයට පත්වී තිබේ. සුවපහසු පුටුවක වාඩිවී, දෙකකුල් පුටුව උඩට ගෙන ටෙලිවිෂනයෙන් අලි-මිනිස් ගැටුම් දකින නාගරිකයන්ගේ හැබෑ ජීවිතයෙන් ඒ බොහෝ දුරය. ඔවුන් වන අලියෙක් දකින්නේ එක්කෝ සංරක්ෂිත වනයකට ට්‍රිප් ගොසින් දූරදර්ශකයකිනි. එහිදී ඔවුන්ට අලියා සුන්දර දර්ශනයකි. එතැනදි ගන්නා අලියාගේ ඡායාරූපය සාඩම්බරයෙන් ෆේස්බුක් දමන ප්‍රදර්ශන භාණ්ඩයකි. එහෙත් කැලෑබදව ජීවත්වන ළමයා, පිරිමියා, ගැහැනිය ගෙදරින් එළියට බැස පාසලට, රැකියාවට, කඩපොළට යන විට මුහුණට මුණ ගැසෙන්නේ ඒ සුන්දර දර්ශනය නොවේ. තමන් ළඟට ඇවිදගෙන එන මරණයය. එහිදී අලියාගෙන් පණ බේරා ගැනීම සඳහා කකුල්වලට පින් දිදී දිවිය යුතුවේ. එසේ කරගන්නට බැරි වුණොත් පාංශුකූලය දෙන විට පින් දෙනු ලබනවා ඇත.
තමන් ජීවිකාව සොයාගන්නා වගාව විනාශ කරන, තමන්ගේ ගේදොරට පවා ප්‍රහාර එල්ල කරන, තමන්ට බයක් සැකක් නැතුව පාරට බහින්නට ඉඩක් නොදෙන අලින් නැසීමට මිනිසුන් දහංගැට ගැහීම ගැන පුදුම වන්නට දෙයක් නැත. නගරයේ ඒසී කාමරයක හිඳගෙන අලි සංරක්ෂණය ගැන කරදර වන්නා හා කැලෑබද ගමක අලි තර්ජන මැද ජීවත්වන්නා මුළුමනින්ම වෙනස් සත්ත්වයන් දෙදෙනෙකි. එක්කෙනකුගේ විසඳුම අනෙකාගේ විසඳුම නොවේ.
අපේ අලියාද මෙහි ජීවත්වන මිනිසුන්, මේ රටේ තිබෙන ඇළ දොළ ගංගා හා වෘක්ෂලතා මෙන්ම අපේ රටේ වටිනා වස්තුවකි. කාලය, ශ්‍රමය හා ධනය වැය කොට රැකගත යුත්තකි. එහෙත් සිද්ධවෙන්නේ එය නොවේ. අලි මිනිසුන්ගේ ජීවිතවලටද, මිනිසුන් අලින්ගේ ජීවිතවලටද තර්ජනයක් වීමය.
කවුරු කම්පා වී මොනවා කිව්වද ලිව්වද අලි-මිනිස් ගැටලු විසඳීමද පහසු නැත. පොළොන්නරුව රටට ජනාධිපතිවරයකුද බිහි කළේය. එහෙත් රටේ වැඩියෙන්ම අලි මැරෙන්නේ පොළොන්නරුවේය. මෛත්‍රිපාල සිරිසේන පොළොන්නරුවට බොහෝදෑ කළේ යැයි කියනු ලැබේ. එහෙත් ඔහුටද එහි අලි - මිනිස් ගැටුම් නවත්වන්නට බැරි විය. ප්‍රභාකරන් ප්‍රමුඛ එල්ටීටීඊය උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍යයක් ලබාගන්නට තිස්අවුරුදු යුද්ධයක් කළේය. එහෙත් නැගෙනහිර අලිමිනිස් ගැටුම් ගැන ඔවුන්ගේ ඇස යොමු නොවීය. අදටත් අලිමිනිස් ගැටුම්වලින් වැඩියෙන්ම මිනිසුන් මැරෙන්නේ නැගෙනහිරය.
සුද්දෙකු ලියූ අලි පාර පොතේ නිවැරදිව කියවෙන පරිදි අලි-මිනිස් ගැටුම්වලට ප්‍රධාන හේතුව අලිමංකඩ මිනිසුන් පදිංචි වීමය. එහෙත් වන අලින්ගේ වාසභූමිවල මිනිසුන් විවිධ සංවර්ධන ව්‍යාපෘති ඇති කිරීම නිසා බිහිවූ ජනාවාස දැන් ඉවත් කරන්නට පුළුවන්කමක්ද නැත. හැරත් මිනිසා ස්වභාව ධර්මයට කොකා පෙන්වා බලපුළුවන්කාරකම් කිරීම මේ රටේ පමණක් සිදුවූවක්ද නොවේ. ඒ මානව ඉතිහාසය පුරා සිදුවූවකි. අප දියුණුව යැයි පුරසාරම් දොඩන්නේ ඒ ක්‍රියාවලියටය.
මෙතැනදී ප්‍රශ්නය ඇත්තේ අලි - මිනිස් ගැටුම් නතර කිරීමට රටට වැඩපිළිවෙළක් තිබේද යන්නය. හැම ප්‍රශ්නයකදීම වහාම ප්‍රශ්නය විසඳන බවට දිවුරා පොරොන්දු දෙන ආණ්ඩුවේ ඇමැතිවරුන්වත් අලි - මිනිස් ගැටුම් විසඳන බවට කවදාවත් පොරොන්දු දෙන්නේ නැත. ඒ එසේ කිරීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ඔවුන්ට නැති නිසාය. කෙටිකාලීන ක්‍රියාමාර්ග නම් එමට තිබේ. වරින්වර දැකගන්නට ලැබෙන්නේ ඒ ක්ෂණික විසඳුම් අසාර්ථක වී ප්‍රශ්නය පටන්ගත් තැනටම යන සැටියි.
මේ ළඟදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා අභ්‍යන්තර රැස්වීමකදී මේ ප්‍රශ්නය අරබයා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පස්පඩංගුවේ බැණවදින ආකාරය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නරඹන්නන්ට දැකගත හැකි විය. අමාත්‍යවරයාටද නිලධාරීන්ට එසේ දොස් කීමට සාධාරණ හේතු තිබෙන්නට පුළුවන. එහෙත් වනජීවී දෙපාර්තමේන්තුව තමන්ට නැගුණු චෝදනා ගැන කුමන අදහසක් දරන්නේද යන්න දැනගැනීමට කිසිදු ජන මාධ්‍යයක් සිය පාඨකයන්ට, ශ්‍රාවකයන්ට හා නරඹන්නන්ට අවස්ථාවක් ලබා දුන්නේ නැත. ඒ ජනමාධ්‍යවලටද අලි-මිනිස් ගැටුම්වලට වඩා ප්‍රමුඛතාවය දිය යුතු ප්‍රවෘත්ති හා විශේෂාංග තිබෙන නිසා විය හැකිය. අලි-මිනිස් ගැටුම්වලින් කොපමණ ජීවිත හානි සිදුවුවද ඒ අපේ ඇති හැකි මිනිසුන්ගේ ප්‍රමුඛතාවයක් නොවේ. අලි-මිනිස් ගැටුම්වල හැබෑම තත්ත්වය එයයි.