මෙරට ආර්ථිකය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
18 August 2026
මෙරට ආර්ථිකය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
18 August 2026
එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එළැඹෙන 2028 වසරෙන් පසුව විදෙස් ණය ගෙවීමට නැවත මෙරටට සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවය.
මහ බැංකුව විසින් මෙම වසර අවසන් වන විට ඩොලර් බිලියන 8ක් පවතිනු ඇතැයි අපේක්ෂා කර ඇති බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා එසේ වන්නේ නම් තවත් ඩොලර් බිලියන 6ක් සෙවීමට සිදුවන බවද පැවසීය.
ඒ අනුව එම ඩොලර් බිලියන 6 සෙවීම සඳහා වැඩපිළිවෙළක් සෙවිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී මෙහිදී පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත "යුධ දෙකකට උර දී" යන ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
"අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ. 2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා. දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.
තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට. 2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද නැතිව යනවාද ?, ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද ?
මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි. තාම පාර්ලිමේන්තුව ඇතුළේ වත් පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ. ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා. මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ අපිත් නෑ. මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න වෙනවා. මම ඉතිං ගෙනත් තියෙන්නේ සුබ ආරංචි නෙමෙයි.. කොහොම හරි මම හැමවෙලේම ගේන්නේ අසුබ ආරංචි."

