brand logo
logo
වේදනා නාශකයක් ලෙසගත් ඇස්ප්‍රින් ගැන නවතම අනාවරණයක්

වේදනා නාශකයක් ලෙසගත් ඇස්ප්‍රින් ගැන නවතම අනාවරණයක්

25 April 2026


අප වේදනා නාශකයක් ලෙස භාවිතා කරන ඇස්ප්‍රින් (Aspirin) ඖෂධය මගින් පිළිකා සෑදීම සහ ශරීරය පුරා පැතිරීම වැළැක්විය හැකි බව නවතම පර්යේෂණවලින් හෙළි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.


බ්‍රිතාන්‍ය ජාතික නික් ජේම්ස් (Nick James) නමැති පුද්ගලයාගේ පවුලේ බොහෝ දෙනෙකුට පිළිකා වැළඳී තිබී ඇති අතර, ජාන පරීක්ෂාවකදී ඔහුටද පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව තහවුරු වී තිබේ.


ඔහු වසර 10ක් පුරා දිනපතා ඇස්ප්‍රින් මාත්‍රාවක් ලබාගෙන ඇති අතර, මේ වන තෙක් ඔහුට පිළිකාවක් වැළඳී නොමැති බව සඳහන් වෙයි. 


සාමාන්‍යයෙන් මෙවැනි ජානමය තත්ත්වයක් ඇති අයට පිළිකා වැළඳීමේ අවදානම 10% - 80% දක්වා ඉහළ මට්ටමක පවතී.


මේ වන විට ලෝකයේ ඇතැම් රටවල් තම සෞඛ්‍ය ප්‍රතිපත්ති පවා වෙනස් කරමින්, පිළිකා අවදානම වැඩි අයට ඇස්ප්‍රින් ලබා දීමට නිර්දේශ කර ඇත.


ඇස්ප්‍රින් භාවිත කිරීම කළ යුත්තේ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත පමණි.


ඇස්ප්‍රින් ඖෂධයේ ඉපැරණි ඉතිහාසය


වසර 4,400කට පෙර ඉරාකයේ නිප්පූර් නගරයෙන් හමු වූ මැටි පුවරුවලට අනුව, අතීත මෙසපොතේමියානු වැසියන් විලෝ (Willow) ශාකයෙන් ලබාගත් යුෂ මෙලෙස ඖෂධයක් ලෙස භාවිත කර ඇති බව විදෙස් වාර්තා තුළ සඳහන් වෙයි.


විද්‍යාත්මක පදනම


මෙම ශාකයේ 'සැලිසින්' (Salicin) නමැති රසායනිකය අඩංගු වේ. 


එය අපගේ ශරීරය තුළදී වේදනා නාශකයක් බවට පත්වේ. 


මේ අතර, 1763 එඩ්වඩ් ස්ටෝන් නමැති පූජකවරයෙකු විලෝ ශාකයේ පොතුවලින් උණ රෝගය සුව කිරීමේ හැකියාව ගැන මුලින්ම විද්‍යාත්මකව ලියා තබා ඇත.


පසුව විද්‍යාඥයන් මෙහි ඇති අහිතකර අතුරු ආබාධ අවම කර, 'ඇසිටයිල් සැලිසිලික් ඇසිඩ්' (Acetylsalicylic acid) නමැති රසායනිකය නිපදවීය.


මෙය පසුව 'බේයර්' (Bayer) යන වෙළඳ නාමය යටතේ ලොව පුරා ප්‍රසිද්ධ විය.


වර්තමානයේ දී අප භාවිතා කරන ඇස්ප්‍රින් යනු වසර දහස් ගණනක් පැරණි ස්වභාවික වෛද්‍යවිද්‍යාවේ නවීන විද්‍යාත්මක දියුණුවයි.


ඇස්ප්‍රින් භාවිතයෙන් ලැබෙන අමතර වාසි 


හෘද රෝග වැළැක්වීම

ඇස්ප්‍රින් මගින් රුධිරය තුනී කරන අතර රුධිර පට්ටිකා එකිනෙකට ඇලීම වළක්වයි. 

මේ නිසා රුධිරය කැටි ගැසීමේ අවදානම අඩු වේ.

හෘදයාබාධ හෝ අංශභාගය වැළඳීමේ අවදානමක් ඇති අයට දිනපතා කුඩා ඇස්ප්‍රින් මාත්‍රාවක් ලබා ගැනීමට වෛද්‍යවරු නිර්දේශ කරනු ලබයි.


පිළිකා මර්දනය පිළිබඳ මුල් කාලීන පර්යේෂණ


1972 දී මීයන් යොදාගෙන සිදුකළ පර්යේෂණයකින් ඇස්ප්‍රින් වල ඇති පිළිකා මර්දන හැකියාව මුලින්ම හඳුනා ගෙන තිබේ.


එහිදී පිළිකා සෛල ශරීරය පුරා පැතිරීම වැළැක්වීමට ඇස්ප්‍රින් වලට සුවිශේෂී හැකියාවක් ඇති බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත.

 

More News..