සතුට නැති තැනින්න ඈත්වෙනවා - චන්න පෙරේරා
10 July 2026 | ධම්මිකා සුරංජි පතිරණ
සතුට නැති තැනින්න ඈත්වෙනවා - චන්න පෙරේරා
10 July 2026 | ධම්මිකා සුරංජි පතිරණ
චන්න පෙරේරා කියන්නේ වැඩිපුර මාධ්‍යයට ඇවිත් කතා කරන කෙනෙක් නෙමෙයි. චන්න කටහඬ අවදි කරන්නේ කලාතුරකින්. බොහෝම නිහඬව ජීවත් වෙන්න කැමැති චන්න පෙරේරා නැවතත් පුංචි තිරයට ඇවිත්. කාලෙකින් රූපවාහිනියේ පේනවා දැක්කේ නැති අපට බුද්ධික ලොකුකැටිය අධ්‍යක්ෂණය කළ සෙවණැලි තුළින් චන්නව දැකගන්න පුළුවන්. නිර්මාණයක් එක්කම ප්‍රේක්ෂකයන්ට හමුවන චන්නව අද පිනිපලසෙන් මුණගැසෙන්නේ ඔහුගේ අලුත්ම කතාව මොකක්ද කියලා දැනගන්න.
චන්න කාලෙකට පස්සෙ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවද?
නැහැ. මම දසවසරකට පමණ පසුව ටෙලිනාට්‍යයක රංගනයට එක්වෙලා ඉන්නව. මෙම නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නෙ බුද්ධික ලොකුකැටිය කියන මෑත කාලයේ අතිශය ජනප්‍රිය වූ බැද්ද අද්දර ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. මෙහි විශේෂත්වය වන්නෙ බුද්ධික මගේ සෙවණේ හැදී වැඩුන අධ්‍යක්ෂවරයෙක්. ඔහු කාලයක් මගේ සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා. එයා දැන් අධ්‍යක්ෂණය පැත්තෙන් ගමනක් යන්න හදන්නෙ. ඔහු මට හරි ආදරෙයි. කාලයක් තිස්සෙ ඔහු පවසමින් සිටිය මාව අධ්‍යක්ෂණය කරන්න කැමතියි කියන කාරණය. ඒ අනුව තමා වසර දහයකට පමණ කාලයකට පසුව මම මේ ටෙලිනාට්‍යයේ රඟපාන්න තීරණය කරන්නෙ.
ප්‍රවීණයෙක් විදිහට ඔබ කාලෙකට පසු ටෙලිනාට්‍යයක චරිතයක් රඟපාන්න තීරණය කරන්නෙ බුද්ධික ලොකුකැටියගෙන් ලැබුණ ඉල්ලීම නිසාමද?
පසුගිය කාලය තුළ මට ටෙලිනාට්‍ය වල රඟපාන්න ඇරයුම් තිබුණා. ඒවායේ මට සෑහීමකට පත්විය හැකි ඒවා නොවීමත් මම චිත්‍රපට අධ්‍යක්ෂණය හා පිටපත් රචනය වැනි කාරියන්ට වැඩිපුර කාලය වැයකර තිබීමත් වැනි හේතු නිසා එම නිර්මාණ භාරගැනීමක් සිදුවුණේ නැහැ. ඉතින් මම පෙර කීවා සේම බුද්ධික මගේ නිර්මාණ සෙවණේ හැදීවැඩුන කෙනෙක්. ඒ වගේම මෙම ටෙලිනාට්‍යයේ කතා සංකල්පය මගේ. මේක මම චිත්‍රපටයකට සකස් කළ කතාවක්. පස්සෙ බුද්ධිකත් මාත් කතාබහ කරල මෙය ටෙලි නාට්‍යයකට ගැළපෙන අයුරින් වර්ධනය කරගෙන ගයනි පියදිගම වෙත ලබාදුන්නා. ඇය තිරපිටපත නිර්මාණය කළා. ඒ විදිහටයි මේ නිර්මාණය පසුබිම සැකසෙන්නෙ. දැන් මේ නිර්මාණයේ රූගත කිරීම් කෙරෙනව.
චන්න මේ නිර්මාණයේ මොන වගේ චරිතයක්ද කරන්නෙ?
මෙය හුදෙක් ප්‍රේම කතාවක් නෙවෙයි. නමුත් වෙනස්ම ආරක අපූරු වෘත්තාන්තයක්. එනම් පිටරටක ජීවත්වන තරුණයෙතුට සිය මවගේ හදිසි මරණයට වගකිවයුත්තා සිය පියා බව පළවෙන වාර්තා නිසා එම කතාවේ ඇත්ත නැත්ත සොයා ගැනීම උදෙසා ලංකාවට පැමිණෙනවා. ඔහු ලේඛකයෙක්. ඔහු නවකතාවක් ලියන මුවාවෙන් සොයායන්නෙ මියගිය මවගේ මරණයට හේතු වූ නිධාන කතාව. කතා සාරාංශය තවදුරටත් ලගුකර කියනව නම් එයයි එහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ මම. මෙම සොයායන ගමනෙදි හමුවන තරුණියන් දෙනෙක් සිටිනව. ඒ චරිත දෙක රඟපාන්නෙ අප්සරා සහ දසුනි කියන යොවුන් රංගන ශිල්පිනියන් දෙනො.
මින් මතු චන්න දිගටම ටෙලිනාට්‍යවල චරිත භාරගන්නවද?
ටෙලිනාට්‍යවල රඟපෑමෙන් දුරස් වීමට මගේ පැත්තෙන් හේතු කිහිපයක් තිබුණත් දිගින් දිගටම මම ටෙලිනාට්‍යවලින් ඈත් වී සිටීම මගේ ප්‍රේක්ෂකයන්ට කරන අසාධාරණයක් යන වග යන එන හැම තැනකම අසන්න දකිනන් ලැබෙන ප්‍රතිචාරවලින් මට හැඟී ගොස් තිබුණා. නිරන්තරයෙන්ම ටෙලිනාට්‍ය වල රඟපාන්න බැරි උනත් මට හදවතට දැනෙන මටත් යමක් තියෙන නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නව.
සිනමා ටෙලිනාට්‍ය, රංගනය හා අධ්‍යක්ෂණය කියන තැන්වල සැරිසරා ඇති ඔබ අද වඩා කැමැත්තෙන් රැඳෙන තැන කොතැනකද?
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට මම එතරම් කැමති නැහැ. මේ යන තරගකාරී බව තුළ එක රාමුවකට කොටුවෙලා නිර්මාණ කරන්න මං එච්චර ආස නැහැ. චිත්‍රපටයක මීට වඩා නිර්මාණය කරන්න නිදහසක් තියෙනව. ඒ නිදහසට මං හරිම කැමතියි. ඒක නිසා මං වැඩිපුර සිනමාවේ ඉඳියි. අධ්‍යක්ෂණය පැත්තෙන් හොඳ චරිත හම්බවුණොත් මං මේ මාධ්‍ය දෙකේම රඟපායි.
පෙරදවසක සේම මම අදත් ඔබෙන් අහනව ඔබ සතු තාරුණ්‍ය සේම ජනප්‍රියත්වයේ ද නොනැසෙන රහස කුමක්ද?
අපි සංසාරෙ ගෙනෙන දේවල් තියෙනවනෙ. මං විශ්වාස කරන විදිහට මට ලොකු ආශීර්වාදයක් සොබාදහමෙන් ලැබිල තියෙනව. මං කරපු දේවල් නිසා මිනිස්සු මට ආදරය කරනව කියල මට දැනිල තියෙනව. මට යුතුකමක් තියෙනව සොබාදහමෙන් මට දුන්න දෙයට යුතුකම් ඉටු කරන්න. ඒ නිසයි මම යළිත් ටෙලිනාට්‍ය රංගනයට පවා එන්න හිතුවෙ. තමන් තමන්ට ආදරය කරන්න ඕනනෙ. ඊට පස්සෙනෙ අනික් හැමදේම. ඉතින් අපි අපිට ආදරය කරනව කියන්නෙ අපි පෙරළා සොබාදහමට ගරු කරනව කියන එකයි. ඔබ ඔය පවසන තාරුණ්‍ය පෙනුම ජනප්‍රියත්වය පාලනයෙන් තොරව සිදු වෙන දේවල් අපි කොච්චර කිව්වත් කර්ම ශක්තිය අනුවයි අපිට දේවල් ලැබෙන්නෙත් දේවල් අහිමි වෙන්නෙත්.
මම හොඳට කනව බොනව අඳිනව පලඳිනව. ඒ වගේම ජනප්‍රියත්වය නඩත්තු කරන්න කියල මම සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙ නැහැ කිව්වට විස්වාස කරන එකකුත් නැහැ. මම ෂෝෂල් මීඩියා වල නැහැ. මම කවදාවත් ඉන්ස්ටග්‍රෑම්වත් ෆේස්බුක්වත් ටික්ටොක්වත් මම මගෙජනප්‍රියත්වය වෙනුවෙන් පාවිච්චි කරල නැහැ. මං ජනප්‍රියත්වයක් නඩත්තු කරන්නෙ නැති තරම්.
චන්න පෙරේරා කියන අධ්‍යක්ෂවරයා සතු මෙතෙක් ප්‍රේක්ෂකයන් නොදුටු නිර්මාණ ගැන පවසනව නම්?
චිත්‍රපට දෙකක් තියෙනව. එකක් ළමා නිර්මාණයක්. එම චිත්‍රපටයේ නම එකයි දෙකයි තුනයි. විවිධ හේතු නිසා මට තවම එම නිර්මාණය තිරගත කරන්න බැරිවෙලා තියෙනව. තවත් මම ආසාවෙන් කරපු චිත්‍රපටයක් තියෙනව. සිහින අනන්තේ කියල. මාලනී ෆොන්සේකා අවසන් කාලයේ රඟපාපු චිත්‍රපටයක්. ඒක ලස්සන ආදර කතාවක්. ලංකාවේ ලස්සන තැන්වල රූගත කරපු චිත්‍රපටයක්. මම විශ්වාකරනව ඉතා ඉක්මනින් මේ චිත්‍රපට තිරගත කරන්න ලැබෙයි කියල. තව මම එලැඹෙන අගෝස්තු මාසයේ චිත්‍රපටයක වැඩ පටන් ගන්න සැලසුම් කරගෙන යනව. ඒකෙ කතාව ලියන්නෙ ලක්ෂාන් වත්තුහේවා. ඔහු ගැනත් ලස්සන කතාවක් තියෙනවා. ලක්ෂාන් වත්තුහේවා කියන්නෙත් මම අධ්‍යක්ෂණය කළ පුංචි වීරයෝ ටෙලිනාට්‍යයේ රඟපාපු ළමා නළුවෙක් එතකොට එයාට අවුරුදු එකොළයි. දැන් එයා අවුරුදු විසිපහක තරුණයෙක් හොඳ කතා රචකයෙක් වෙලා ඉන්නව.
චන්නට කලා කටයුතු හැරුණම ව්‍යාපාර කටයුතුත් තියෙනවද?
මම විවිධ ක්ෂෙත්‍රවලට ඇතුල් වෙන්න හැදුවා. නුගේගොඩ සහ බණ්ඩාරගම මම ඇස් කණ්ණාඩි සාප්පු ආරම්භ කළා. මේ වෙත්දි බණ්ඩාරගම තියෙන කඩේ විතරක් කෙනෙක්ට දීලා තියෙනව කරගෙන යන්න. ඒකෙන් මට සුළු මුදලක් ලැබෙනව ඒ හැර මට ව්‍යාපාර නැහැ. කලාව තමයි මම දිගටම කරගෙන යන්නෙ.
චන්න කියන්නෙ ජීවිතයේ අමාරු දුෂ්කර තැන් මගහැර යන්න කැමති කෙනෙක්ද කියල මම විමසුවොත්?
හරියට හරි. මම කිසිදෙයක් දෝතින් බදාගෙන නැහැ කිසියම් දෙයක හෝ තැනක මට සතුට නැත්නම් මම ඒ සතුට නැති තැන්වලින් මම ඈත් වෙනව.
ප්‍රේමය නමැති අතිශය සංවේදී කාරණා වගේම කලාව ඇතුළෙත් ඔබ ඔය ප්‍රතිපත්තියේම ඉන්නවද?
මට ආදරය අහිමිව ගිය අවස්ථා කිහිපයක් තිබුණා. ඒ තුළ මම දුක් වින්දා. මට දුක හිතුණා. මනුස්සයෙක් හැටියට අතහැරුණ ආදර සම්බන්ධතා බිඳවැටීම් තුළ මට රිදුන තැන් තිබුණා. නමුත් වෘත්තීය ජීවිතයේ නම් නොලැබුණ ගිලිහුණු හෝ මගහැරුණ තැන් පිළිබඳ මට කිසිදු දුකක් හෝ පසුතැවීමක් ඇතිවෙලා නැහැ. මේ හැමදෙයක්ම අවසානයේ මට හිතෙන දැනෙන දෙයක් තමයි මේ වෙන්න ඕන විදිහටයි හැම දෙයක්ම වෙන්නෙ. කොච්චර දැඟලුවත් වෙනස් කරන්න හැදුවත් මේ වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න බැහැ කියන දේ ඒ මම මගේ ජීවිතයෙන් අත්දැකල තියෙනව.
ජීවිතයේ ඔබ ගත්ත තීරණ දෙස අද ඔබ බලන්නෙත් ඒ විදියටද?
ඇත්තටම තාරුණ්‍යයේ දී අපි හරි මෝඩ තීරණ ගන්නෙ. ඒ කාලෙ අපි හිතපු විදිහ හරිම පටුයිනෙ. දැන් වියපත් වීමත් සමග අපිට දේවල් දැනෙන විදිහට අපි එදා හිතුව නම් ගයාත්‍රියි මායි ජීවිතේට ඈත් වෙන්නෙ නැහැනේ. අපි දරුවො එක්ක පවුලක් විදිහට ඉන්නවනෙ. හැබැයි අපි ඒ ඒ අවස්ථාවල තීරණ ගන්නෙ ඒ අවස්ථාවෙ හිතෙන හැටියට. අතීතයෙ ගත්ත තීරණ දිහා හැරිල බලත්දි අපි ළදරුවො ද කියල හිතෙනව. ඒ කාලෙ ගැන පසුතැවිලි වෙලා වැඩකුත් නැහැ. ඒ කාලෙ ගත්ත තීරණනෙ ආයෙ හදන්න බැහැනෙ.
අද දවසේ ඔබේ ආදරය අසල දැවටෙන ඇය කව්ද?
ආදරය කියන දෙය වරින් වර මට ලැබිල තියෙනව. වරින් වර මට ප්‍රේම සබඳතා තිබිල තියෙනව. මොකද මම ආදරයට හරිම ආදරය කරන කෙනෙක්. අනික මම ආදරයට හරිම ගරු කරන කෙනෙක්. මට ආදරයක් ඕනමයි ජීවත් වෙන්න. හැබැයි ඒ ආදර කතා ඇතිවෙලා නැතිවෙලා ගිහින් තියෙනව. මේ මොහොතේ එහෙම ආදර කතාවක් මා සතුව නැහැ. මෑතක් වෙනතුරුම එහෙම ආදර කතාවක් මා ළඟ තිබුණා. හැබැයි ඒ ආදර කතාව මේ වෙද්දි අවසන් වෙලා.
මේ ආදර කතා අවසන් කිරීමේ වගකීම ඔබේද ඇගේද?
ඇත්තටම කිසිම කෙනෙකුට කිසිම වරදක් කියන්න බැහැනෙ. ඇත්තම කතාව මම තාරුණ්‍යයේ ඉන්න කෙනෙක් නෙවෙයිනෙ. ඒ වුනාට වැඩිපුර මගෙ හිත යන්නෙ බොහොම තාරුණ්‍යයේ ඉන්න ගැහැනු ළමයි වෙතටයි. මොනව උනත් මට දුවල දෙන්නගෙ වගකිම් තියෙනව. එයාල ගැන මම බලන්න ඕනනෙ. ඉතින් මට ආදරය කරන අය මට තියෙන ඒ වගකීම් වලට අකමැති වෙන්න පුළුවන්. ඒකට ඒ අයට වරදක් කියන්න බැහැනෙ.
ඇත්තටම ඔබ අද ගෙවන හුදකලා ජීවිතය රස වගේම නීරස තැනුත් තියෙනවද?
ඔව්, මම තනියෙන් ගෙදරක ඉන්නෙ. ඒ හුදකලා ජීවිතය ඇත්තටම මනසට මාර නිදහස්. ඒත් පාලුව තනිකම කියන දේ දැනෙනව. එහෙම දැනේනෙ නැහැ කියන්න බැහැ. කොච්චර කිව්වත් ජීවිතයට කවුරු හරි ඕන.
ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යනවද?
පහුගිය කාලයේ මගේ සෞඛ්‍ය පැත්තෙන් යම් සිද්ධියක් වුණා. එවැනි තත්ත්ව ඇති නොවෙන්න මම දැන් බොහොම පරිස්සම් වෙනව. දන් මගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට හැරිල තියෙනව. හැම දේකම මධ්‍යස්ථ තැනක ඉන්නව. ජීවිතය වියපත් වෙන්න වෙන්න අපි යම් මධ්‍යස්ථ තැනකට එනවනෙ. මම හැම දෙයක්ම කනව. වයින් එකක් බොනව. නමුත් මම කිසිම දෙයක අන්තයට යන්නෙ නැහැ. ඒක මගේ ජීවිතයේ තියෙන ලක්ෂණයක්.

