brand logo
logo
ගුරු සේවයේ දුයිෂෙන්ලා සහ කුම්භාණ්ඩයෝ

ගුරු සේවයේ දුයිෂෙන්ලා සහ කුම්භාණ්ඩයෝ

04 September 2026


චිංගිස් අයිත්මාතෙව්ගේ ගුරුගීතයේ ගුරුවරයා දුයිෂෙන් ය. සිසුවිය අල්තිනායිය.


දවසක් දුයිෂෙන් පොප්ලර් පැළ දෙකක් රැගෙන එයි. ඔහු අල්තිනායි සමග එකතුව ඒ පැළ දෙක රෝපණය කරයි. දවසක ඒ පැළ දෙක ක්‍රමයෙන් වැඩී ශක්තිමත් ගස් දෙකක් බවට පත් වෙන්නා සේ අල්තිනායි ද සමාජයට හිතවත් යහපත් පඬිවරියක් විය යුතු බව දුයිෂෙන් සඳහන් කරයි. කවදා හරි අල්තිනායි එකී අභියෝගය ජය ගන්නා බව ගුරුවරයා මහත් විශ්වාසයෙන් සඳහන් කරයි. කිසිවක් සිසුවියගෙන් අපේක්ෂා නොකර ඇයට මග පෙන්වීම පමණක් කළ දුයිෂෙන් නමැති ගුරුවරයා ගුරු ආදර්ශයක් බවට පත් වූයේ මෙකී කැපකිරීම නිසාය. සෝවියට් සමූහාණ්ඩු යුගයේ ගුරුවරයාගේ වගකීම පිළිබඳ දර්ශනයක් සහ මග පෙන්වීමක් ගුරුගීතයෙන් මතු වෙයි. එහෙත් දුයිෂෙන්ලාගෙ යුගය දැන් අවසන් යැයි කෙනකුට කල්පනාවන තරමට ගුරුවරයාගේ භූමිකාව සමාජ ආර්ථික සහ දේශපාලනික හැලහැප්පීම් සමග වෙනස් වී ඇත. ගුරුකමට වේතනයක් ලැබුණද එය රැකියාවක් සේ පිළිගැනීමට අපේ හදවත් තවම සූදානම් නැත. එය රැකියාවකට එහා ගිය ඉහළ මානව වගකීමක් බව අපගේ අදහසය. එහෙත් තරගකාරී සමාජ රැල්ලට හසුව ගුරුවරයාද ගසාගෙන යන හැටි අපට පෙනේ. වෘත්තිකයකු වශයෙන් ගුරුවරයාට අයිතිවාසිකම් හිමිවිය යුතු නැතැයි අප සඳහන් කරන්නේ නැත. එසේම ගුරුවරයා හුදෙක් පරමාදර්ශයක් හැටියට පමණක් සිටිය යුතු යැයි සඳහන් කරන්නේද නැත. එපමණක් නොව දුයිෂෙන් වැනි ගුරුවරුන් සම්පූර්ණයෙන් වඳව ගොස් ඇතැයි ද අප සඳහන් කරන්නේ නැත. එසේ වුවද දූයිෂෙන් ගුරුවරයකු සොයා ගැනීම පහසු වැඩක් නොවේය.


දුයිෂෙන්ලා වැනි ගුරුවරු කෙසේ වෙතත් දැන් අපේ රටේ නම් ලගිනෂෙන්ලා යැයි හැඳින්විය හැකි ගුරුවරුන් පිරිසක් සිටින බව සඳහන් කළ යුතුය. මේ ලගිනෂෙන්ලා යනු අන් කවුරුන් වත් නොව නාගරික සුපිරි පාසල්වල ගුරු පත්වීම් ලැබ ඒවා අත්හැරයාමට අකැමැතිව එකී පාසල්වලම ලගින ගුරු බහිරවයෝය. නාගරික පාසල්වලට මෙකී ගුරුවරුන් අරක්ගෙන තිබෙන්නේ විවිධ සමාජ සහ ආර්ථික වරප්‍රසාද නිසාය. එක් පැත්තකින් ඔවුන්ගේ දූ දරුවෝ නාගරික සුපිරි පාසල්වල ඉගෙනුම ලබති. අනෙක් අතට එකී පාසල්වල පන්ති කාමර සුහුරුය. වරප්‍රසාද ද බහුලය. ඊනියා සමාජ පිළිගැනීමෙහිද අඩුවක් නොමැත. එනිසා ඒවාට ලොල්වන ගුරුවරු සුපිරි පාසල් යැයි ප්‍රකට ඒවා අත්හැරයාමට මැළිකමක් දක්වති. සාමාන්‍යයෙන් අපේ පොදුජන වහර අනුව මියගිය පසුද යම්කිසි ස්ථානයක් අත්නොහැර, එකී ස්ථානයට ලොබ බඳිමින් සිටින උදවිය හඳුන්වන්නේ කුම්භාණ්ඩ, ප්‍රේත, පිසාචයන් හැටියටය. කුම්භාණ්ඩ, ප්‍රේත, පිසාචයන් වැනි ගුරුවරුන් පිළිබඳ අපගේ අවධානය යොමු වූයේ මේ දිනවල යළි ගුරු මාරුව පිළිබඳ ගැටලු පැන නැගී තිබෙන හෙයිනි.


මෙකී ගැටලුව හේතුවෙන් නියමිත පටිපාටිය අනුව සිදුවිය යුතු ගුරු මාරු කිරීම් ලත්තැන ලොප් වී තිබේ. අපගේ පුවත්පත ප්‍රධාන පුවත හැටියට ඊයේ (3) වාර්තා කර තිබුණේ මෙම ගුරුමාරු හුටපටයට ප්‍රධාන හේතුව ජාතික පාසල්වල මාරුවීම් ලැබූ ගුරුවරුන් තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් එකී මාරුවීම් පිළිනොගෙන තවදුරටත් එම පාසල්වල රැඳී සිටීම බවය. ඒ හේතුවෙන් පළාත් පාසල්වලින් මාරුවීම් ලබා සිටින ගුරුවරුන්ට පත්වීම් භාර ගැනීමට නොහැකි අතිශය ගැටලුකාරී තත්ත්වයක් උදා වී තිබේ. මේ හේතුවෙන් එකී ගුරුවරුන් අන්තරාභවිකයන් පිරිසක් සේ කටයුතු කරන තත්ත්වයට පත්ව තිබෙන බව පෙනේ. මාරුවීම් ලැබූ ගුරුවරුන් තවදුරටත් ජාතික පාසල්වල රැඳී සිටීම හේතුවෙන් ගුරු වෘත්තීය සමිති ද මාරුවීම් මණ්ඩලවලින් ඉවත්ව තිබෙන බව දැන ගන්නට ලැබේ.


අප දන්නා පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමිති පාලනය කළේ දැන් රට පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තීය සමිති ව්‍යාපාරය මගිනි. එසේම අධ්‍යාපන වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ඉහළ සිටි බොහෝ අය දැන් මැති ඇමැත්තෝය. අඩුම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුය. එවැනි ආණ්ඩුවකටවත් මාරුවීම් භාර නොගෙන එකම තැන රැඳී සිටින ගුරුවරුන් මාරු කළ ස්ථානවලට යැවිය නොහැකි නම් කවර නම් කතාද? අනෙක් අතට එකී ගුරුවරුන්ට ඉගැන්විය හැක්කේ ජාතික පාසල්වල සිටින දරුවන්ට පමණ ද? අනෙක් දුර බැහැර ප්‍රදේශවල දූ දරුවන්ට ඉගැන්වීමට නොහැකි යම් අසනීපයක්, අශක්නුතාවක් ඔවුන්ට තිබේද යන ගැටලුව අපට ඇතිවෙයි. රාජ්‍ය සේවයට යොමුවන ඕනෑම කෙනකුට රටේ කවර හෝ තැනක රාජකාරි කළ හැකි විය යුතුය. එකී පදනම මත රාජ්‍ය සේවයේ බොහෝ අය පත්වීම් ලැබෙන තැන්වලට ගොස් සේවය කරති. එහෙත් ගුරුවරුන් පමණක් මැසිවිලි නගමින් එකම තැන රැඳී සිටීම කෙතරම් නම් හීන දීන ප්‍රයත්නයක්ද? ගුරුවරයෙක් නාගරික, ග්‍රාමීය භේදයක් නැතිව රටේ සියලු දරුවන්ට සම සිතින් ඉගැන්විය යුතුය. ශිල්ප ලබාදිය යුතුය. එවැනි සම සිතකින් කටයුතු කළ නොහැකි නම් එවැන්නෝ ගුරු සේවයෙන් ඉවත් විය යුතුය. ගුරුකම නමැති මහා මානව වගකීම ඉටුකළ හැකි අය පමණක් එහි රැඳී සිටිය යුතුය.

 

More News..