අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ සහ නේපාලයේ 19ක් මරුට
27 September 2026
අයහපත් කාලගුණයෙන් ඉන්දියාවේ සහ නේපාලයේ 19ක් මරුට
27 September 2026
ප්‍රබල වර්ෂාව සහ කුණාටු තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාවේ සහ නේපාලයේ ප්‍රදේශ රැසක හදිසි ගංවතුර සහ නායයෑම් හටගෙන තිබේ.
මේ හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති අතර, ගංගා ජල මට්ටම අනතුරු ඇඟවීමේ මට්ටම් ඉක්මවා යාමත් සමඟ තවත් 10 දෙනෙකු අතුරුදන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඉන්දියාවේ ගත වූ පැය 48 තුළ පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 117 කට හානි සිදුවී තිබේ.
උත්තර් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 63 කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇති අතර, සාමාන්‍ය වර්ෂාපතනය මෙන් 19 ගුණයක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
නේපාලයේ බාග්ලුං දිස්ත්‍රික්කයේ නිෂී ඛෝලා ගම්මානයේදී නායයෑමක් හේතුවෙන් නිවසක් යටවීමෙන් කාන්තාවක් සහ දරුවන් තිදෙනෙක් ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
හිම්ලුං හිමාල් හි හිම කඳු නායයෑමකින් නේපාල ජාතික සේවකයින් 10 දෙනෙකු අතුරුදහන් වී තිබේ. විදෙස් කඳු නගින්නන් සඳහා කූඩාරම් සකස් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
නේපාලයේ දිස්ත්‍රික්ක 49 කට හදිසි ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර, රාහුගංගා ගඟේ ගංවතුර තත්ත්වය නිසා මෙගාවොට් 40 ක ජල විදුලි ව්‍යාපෘතියකට හානි සිදුවී ඇත. එසේම විදුලිබල හා සන්නිවේදන මාර්ග බිඳ වැටී තිබේ.
මධ්‍ය ජල කොමිසමට අනුව, ප්‍රාන්ත හතක ගංගා නිරීක්ෂණ මධ්‍යස්ථාන 30 ක ජල මට්ටම දැඩි අවදානම් මට්ටමක පවතී. ගංගා, ගණ්ඩක්, කෝසි, බග්මතී සහ නර්මදා වැනි ප්‍රධාන ගංගා අනතුරු ඇඟවීමේ ලකුණු ඉක්මවා ගලා යයි.

