brand logo
logo
තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී අතරමංව සිටි පිරිසක් බේරා ගැනේ

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී අතරමංව සිටි පිරිසක් බේරා ගැනේ

05 September 2026

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ අතරමංව සිටි පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

නාවික හමුදාව විසින් එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද මුර සංචාරයකදී වැලිපරයක අතරමංව සිටි මෙම පිරිස නිරීක්ෂණය වී තිබේ.


ඒ අනුව ඔවුන් ආරක්ෂිතව ඉන් මුදවා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර මෙම පිරිස දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බවට නාවික හමුදාව සැක පළ කෙරේ.

එම පිරිස අතරට එක් පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් සිව්දෙනෙකු සහ අවුරුදු 02-14ත් අතර වයස්වල පසුවන ළමුන් තිදෙනෙකු ද සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.


මෙලෙස මුදවාගත් පිරිස පීඩාවට පත්ව සිටි බැවින් අවශ්‍ය පානීය ජලය, ආහාර සහ තාවකාලික නවාතැන් පහසුකම් ලබාදීමටද පියවර ගෙන ඇත.


මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ පිරිස ඉන්දියාවේ අනෛයූර් සහ ඔක්කූර් වන සරණාගත කඳවුරුවල සිට රාමේෂ්වරම් ප්‍රදේශය හරහා පැමිණ ඇති බවත් මින් පෙර ඉන්දියාවේදී සරණාගතභාවය ඉල්ලා ඇති බවත්ය.


මෙම පුද්ගලයින් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භාරදීමට නියමිතව ඇති බවද නාවික හමුදාව සඳහන් කළේය.

 

More News..