brand logo
logo
 රටවල් 9ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ කොළඹ කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය ඇරඹෙයි

රටවල් 9ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ කොළඹ කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය ඇරඹෙයි

25 October 2026


ආසියානු කනිෂ්ඨ සුපර් සීරීස් (AJSS) හි නිල තරගාවලියක් වන 2026 කොළඹ කනිෂ්ඨ ඕපන් ස්කොෂ් තරගාවලිය 2026 ඔක්තෝබර් 24 සිට 28 දක්වා රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වේ. 


මේ සඳහා ආසියාවේ අතිදක්ෂ කනිෂ්ඨ ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිතය.


රටවල් 9 ක් නියෝජනය කරමින් විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 54 දෙනෙකු ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 176 දෙනෙකු එක්වන මෙම තරගාවලිය, දින 5 ක් පුරා බාලක හා බාලිකා වයස් කාණ්ඩ 10 ක් (අවුරුදු 11, 13, 15, 17 සහ 19 න් පහළ) යටතේ පැවැත්වේ.


 බංග්ලාදේශය, චීනය, හොංකොං, මැකාවු, මැලේසියාව, නේපාලය, පාකිස්තානය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව නියෝජනය වන මෙම තරගාවලිය ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීමට ලැබෙන විශිෂ්ට අවස්ථාවකි.


ආසියානු ස්කොෂ් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ මගපෙන්වීමෙන් සංවිධානය වන මෙම තරගාවලිය මගින් දේශීය යොවුන් ක්‍රීඩකයින්ට ප්‍රබල විදේශීය තරගකරුවන්ට එරෙහිව තරග කරමින් ජාතික හා ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිකය නැංවීමටද මහඟු පිටුවහලක් සපයයි.


එබැවින් 2026 කොළඹ කනිෂ්ඨ ඕපන් ස්කොෂ් තරගාවලිය යනු කලාපීය ස්කොෂ් ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කරන තීරණාත්මක පියවරකි. මෙම තරගාවලිය සඳහා RG Brothers සමාගමේ Star Gold සන්නාමය ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත්, Winged Falcon නිල රැකට් සහකරු ලෙසත් කටයුතු කරයි.

 

More News..