දළදා සමිඳුන් උදෙසා තේවා රාජකාරිය මල්වතු පාර්ශ්වයෙන්, අස්ගිරි පාර්ශ්වයට පැවරේ
30 July 2026
දළදා සමිඳුන් උදෙසා තේවා රාජකාරිය මල්වතු පාර්ශ්වයෙන්, අස්ගිරි පාර්ශ්වයට පැවරේ
30 July 2026
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදු කෙරෙන සම්ප්‍රදායානුකූල තේවා රාජකාරී කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම අද (30) දින චාරිත්‍රානුකූලව සිදුවිය.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරිණි.
ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පැවරී පවතින අතර, වසරක් පාසා දෙපාර්ශ්වය අතර තේවා කටයුතු හුවමාරු වීම රජ දවස පටන් පැවත එන ගෞරවනීය චාරිත්‍රයකි.
සෑම වසරකම ඇසළ පුන් පොහෝ දිනට පසුදින පස්වරුවේ මෙම තේවා මාරුව සිදු කිරීම සම්ප්‍රදාය වේ. ඒ අනුව, මෙවර තේවා කටයුතු භාරගත් අස්ගිරි පාර්ශ්වය විසින් ලබන වසරේ ඇසළ පුන් පොහෝ දිනට පසුදින දහවල් දක්වා ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවා කටයුතුවල භාරකාරිත්වය දරනු ලබයි.
ඒ අනුව ඇසළ අද දහවල් තේවා කටයුතු නිම කිරීමෙන් අනතුරුව, උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ දෙපාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරුන් ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කළහ.
තේවා කටයුතු සඳහා භාවිත කරනු ලබන රන් කෙන්ඩි ඇතුළු පූජා භාණ්ඩ ලැයිස්තුව නව තේවා භාර ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂා කිරීම සිදුවිය.

