පොලීසියේ සහ STF නිලධාරීන් 1,642කට උසස්වීම්
03 September 2026
පොලීසියේ සහ STF නිලධාරීන් 1,642කට උසස්වීම්
03 September 2026
ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 1,489 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 153 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර තිබේ.
2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සේවා පදනම මත ලබාදෙන මෙම උසස්වීම් සංකේතවත් කරමින් නිලධාරීන් 20 දෙනෙකු වෙත උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (03) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී මෙම උසස්වීම් ප්‍රදානය සිදුකෙරුණු අතර, එම උත්සවය තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්විණි.
මේ අතර, පොලීසිය සහ මහජනතාව අතර තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සහ ජනතා සේවාවන් කාර්යක්ෂම හා කඩිනම් කිරීමේ අරමුණින් SRI LANKA POLICE Mobile App හඳුන්වාදීම සහ නවීකරණය කළ www.police.lk නිල වෙබ් අඩවිය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
මේ අතර පොලීසිය වඩාත් ගෞරවාන්විත හා නවීන මහජන සේවාවක් බවට පත් කිරීම සඳහා නව උසස්වීම් ක්‍රමවේදයක් හඳුන්වාදීමටද කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම, ලබන වසරේ මැද භාගය පමණ වනවිට පොලිස් නිලධාරීන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත්, සියලු නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් ලබාදීම, අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සම්පත් බඳවා ගැනීම සඳහා පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සංවත්සරය සනිටුහන් කරමින් පැවති මෙම උත්සවයේදී සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

