ඩිජිටල් වත්කම් නියාමනය සහ සයිබර් අපරාධ මැඩලීමට ගෝලීය ආයතනයක් සමඟ සාකච්ඡා
17 November 2026
ඩිජිටල් වත්කම් නියාමනය සහ සයිබර් අපරාධ මැඩලීමට ගෝලීය ආයතනයක් සමඟ සාකච්ඡා
17 November 2026
ශ්‍රී ලංකාවේ අථත්‍ය ඩිජිටල් වත්කම් නියාමනය, ක්‍රිප්ටෝ අපරාධ වැළැක්වීම සහ විමර්ශනය කිරීම මෙන්ම ඩිජිටල් වත්කම් බදු අනුකූලතාව සහ එකතු කිරීම යන මූලික කරුණු තුන පදනම් කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර මෙම සාකච්ඡාව අද (17) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන ආයතන, මූල්‍ය නියාමකයින් සහ මූල්‍ය ආයතන වෙත බ්ලොක්චේන් විශ්ලේෂණ සේවා සපයන ප්රමුඛ පෙළේ ගෝලීය ආයතනයක් වන 'Chainalysis' නියෝජිතයින් සමඟ මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
2027 අයවැය අපේක්ෂාවන්ට සහ ඩිජිටල් පරිවර්තන න්යායපත්රයට අනුකූලව, අථත්‍ය වත්කම් සඳහා නීතිමය සහ බදු යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේ ජාතික අවශ්‍යතාව මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අනෙකුත් පාර්ශ්වකරුවන්, මූල්‍ය බුද්ධි ඒකකය, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන සම්බන්ධ කරගනිමින් නියමු ව්‍යාපෘති සහ ධාරිතා වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සාකච්ඡා කර ඇත.
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ මාර්ගෝපදේශ සහ OECD ක්‍රිප්ටෝ-වත්කම් වාර්තාකරණ රාමුව සමඟ මෙරට නියාමන රාමුව පෙළගැස්වීම හරහා හරස් දේශසීමා බදු සහ නියාමන තොරතුරු හුවමාරුව විධිමත් කිරීමට ද මෙහිදී අවධානය යොමු කර තිබේ.
මෙම අවස්ථාව සඳහා 'Chainalysis' ආයතනයේ ඉන්දියා සහ දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ භානු සුද් සහ ඉම්තියාස් අහමඩ් මොහොමඩ් නුලෙයාර් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතාද සහභාගී වී ඇත.


