brand logo
logo
සමාජ මාධ්‍ය වටකර ගහන වැට ළඟ ළඟ එනවා

සමාජ මාධ්‍ය වටකර ගහන වැට ළඟ ළඟ එනවා

17 October 2026 | හර්ෂණී දිසානායක


සාමය සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස නැතිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ඔහු කියනා ලෙස මේ ක්‍රියාමාර්ගයන් ගෙන එන්නේ මාර්ගගත ක්‍රමවල ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පත ඔස්සේය.


අමාත්‍යවරයා මේ පිළිබඳව වර්තමානයේ අවධානය යොමු කළ ද පසුගිය වසර කිහිපයේදීම සමාජ මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය පුද්ගලයන්, ආගමික නායකයන්, දේශපාලනඥයන් ආදී නානාප්‍රකාරයේ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් අපහාස උපහාස කිරීම්හී වැඩිවීමක් දකින්නට ලැබිණි. මෑතකදී ඊට දිය හැකි හොඳම උදාහරණය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉලක්කකර එල්ල කළ අපහාසාත්මක පෝස්ටුය. ශ්‍රී ලංකා පොදුජන පක්ෂය අනුරාධපුරයේදී සංවිධානය කළ රැස්වීමට අසීරුවෙන් ගොඩ වූ ඔහු ගැන විරුද්ධවාදීන් අපහාසාත්මක පෝස්ටු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබිණි. මහින්ද රාජපක්ෂ පක්ෂ නායකයෙක් පමණක් නොව ත්‍රිවිධ හමුදාවේ හිටපු සේනාධිනායකයාය. මහින්ද පමණක් නොව ජේ.ආර්. ජයවර්ධනගේ සිට අනුර කුමාර දිසානායක දක්වා සියල්ලන්ම විධායක ජනාධිපතිවරු පමණක් නොව සන්නද්ධ හමුදාවේ සේනාවිධායකයාය. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ට අධිකාරි බලය ලැබෙන්නේ ජනපතිවරයා ස්වකීය අත්සනින් නිකුත් කරන අධිකාරී බලපත්‍රයකිනි. ඒත් ජනපතිවරයා අතින් අධිකාරි ලබන හමුදා නිලධාරින් දේශපාලන පක්ෂවලට බෙදී ඔහු විවේචනය කිරීම හමුදා විනයට හා සදාචාරයට නොගැළපෙන බව ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු අධිපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ පෙන්වා දෙන්නේය.


"අපට මේ නිලය හා අධිකාරය දුන්නේ ජනපතිවරයා. ඔහු කවුද කියලා අදාළ නෑ. ඒ නිසා හමුුදා නිලධාරින් පක්ෂ දේශපාලනය කරනවා නම් තමන්ට හමුදාවෙන් දුන් නිලය හා නිල ඇඳුම භාවිත කිරීම සුදුසු නැහැ. විශ්‍රාම ගියත් අපට ඒ නිලය හා අවසන් ගමනේ දී නිල ඇඳුම හිමිවෙනවා. ඒ නිසා පක්ෂ දේශපාලනය කරනවා නම් යළිත් හමුදාවේ නිලය ඇතුළු කිසිදු වරප්‍රසාදයක් එපා කියලා දේශපාලනය කරත් ඒ වගේම නැතුව තමන්ගේ සේනාධිනායකයා විවේචනය කිරීම වැරදියි’’ ඔහු කියන්නේය.


ඒවගේම සමාජ මාධ්‍ය වේදිකාවන්ට දරුවන්ගේ නැඹුරුවත් වැඩි බව අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් වාගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ද ඇසෙන කතාවයි. දරුවන් හා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ගත්විට පාර්ලිමේන්තුව අමතමින් සැප්තැම්බර් අටවැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් ගෙන ආ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කීවේ ඒ වයස් සීමාව සම්බන්ධයෙන් වූ සාකච්ඡාව අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව එය දැන් නීතිමය කෙටුම්පත් කිරීමේ අදියරයේ පවතින බව ඔහු පැවසූ බවය.


කෙසේ වෙතත් මාර්ගගත ආරක්‍ෂණ පනත 2024 ජනවාරි මාසයේදී කරළියට ආවේය. එහෙත් සමාජ මාධ්‍ය වේදිකාවන්හි පරිශීලකයන්ගෙන් ආ විරෝධතා හමුවේ වත්මන් ආණ්ඩුව එය අකුළා ගත්තේය. පසුව ඒ පනතට පුළුල් සංශෝධන කිරීමට සැලසුම් සකස් කරමින් පවතී. මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කීවේ මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත කෙටුම්පත් කරමින් පවතින බවයි.


කෙසේ වෙතත් ජාතික මාධ්‍ය පදනම මගින්ද වයස අවුරුදු දාසයට අඩු දරුවන් උදෙසා සමාජ මාධ්‍ය භාවිතයේදී ආරක්ෂිත මාධ්‍ය උපමාන, ආචාර්ය ධර්ම මාර්ගෝපදේශ සකස් කිරීම අනිවාර්ය බව පෙන්වා දුන්නේය. ජාතික මාධ්‍ය පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, කොළඹ සරසවියේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ වර්තමානය ඒ සිදුව ඇත්තේ මනුෂ්‍යත්වය ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජ මාධ්‍ය යොදාගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි.


"වර්තමානය වන විට ගෝලීය මට්ටමින් ද ජාතික මට්ටමින් ද ඉතාමත් පුළුල් කතිකාවතක්, සංවාදයක් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙනවා. මෙය ඇත්තටම නව තත්ත්වයක් අලුත් යථාර්ථයක්. අද වනවිට මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයට පමණක් නොව මිනිස් ක්‍රියාකාරීත්වයක් ඇති සෑම ක්ෂේත්‍රයකම විප්ලවීය වෙනසක් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා නිසා දැඩි බලපෑමක් ඇති වෙලා තියෙනවා.


ඒ නිසාම යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින රටවල් කියන මේ සෑම රාජ්‍යයක්ම මේ මොහොත වන විට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට පටන්ගෙන තිබෙනවා. ඊට හේතුව තමයි මේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් මීට පෙර කිසිදු රජයකට අත්දැකීමක් නොතිබුණු නිසයි." මහාචාර්යවරයා කියන්නේය.


"ඒත් ඒ රටවල් පසු කාලෙත් සමාජ මාධ්‍ය නියාමනය කිරීමට විවිධ නීතිරීති ගෙනාවත් ඉන් වැඩක් වූයේ නැද්දැයි අපි ඔහුගෙන් විමසුවෙමු.


"දෙදහා දශකය මුල් කාලයේදී නම් විශේෂයෙන්ම යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුකරමින් මුලින්ම කළේ නීති රීති පැනවීම නෙවෙයි. සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද කියලා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කිරීමයි. පසුව ඒවට ගැළපෙන උපමාන යෝජනා ඉදිරිපත් වුණා. ඊට පස්සේ තමයි විශේෂයෙන්ම 2011 වසරේදී අලුත් වුණු ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් 'ජනමාධ්‍ය සම්බන්ධයෙන් නව සංකල්පය' කියන්නාවූ පනතක් යුරෝපා සංගමය විසින් ගෙන ආවේ. එයත් නීතියක් නෙවෙයි. මූලිකවම සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද කියලා යුරෝපා සංගමය විසින් නිර්දේශ ඉදිරිපත් කරපු යෝජනාවලියක්." මහාචාර්යවරයා පවසන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොවන පරිද්දෙන් ඒ ඒ රටවල් තමන්ගේ රටට ගැළපෙන අයුරින් සමාජ මාධ්‍ය නියාමනය නිර්දේශ ඉදිරිපත් කළ බවයි.


එනමුත් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරමින් අදාළ රාජ්‍යයන් ඔවුන්ට සමාජ මාධ්‍ය පරිශීලනය සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කළත් 2020 වර්ෂය වන විට සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍යයන් පෙරළීමට, උද්ඝෝෂණ මෙහෙයවීමට කොටින්ම දේශපාලන බළල් අතක් ලෙස කටයුතු කිරීමට සමාජ මාධ්‍ය පරිශීලකයන් පෙලඹිණි. ඊට මෑත කාලීන නිදසුන මෙරටේ පැවැති අරගලයයි.


අනෙක් අතට මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට භාවිත කළ සමාජ මාධ්‍යය 21 වැනි සියවස වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර කිරීම දක්වාම වේගයෙන් වර්ධනය විය. මහජනයාගේ සිතීම පවා පාලනය කළ හැකි මාධ්‍යයක් බවට සමාජ මාධ්‍ය පත්විය. එහෙයින් වැඩි කලක් නොගොස් සමාජ මාධ්‍ය නියාමනය නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක නොකර නීතිරීති මගින් නියාමනය කළ යුතු යැයි ලෝක ආණ්ඩු වෙත සිතිණි.


"සමාජ මාධ්‍ය මගින් රාජ්‍ය විරෝධී ව්‍යාපාර මෙහෙයවීමට අනුබලදීම සම්බන්ධයෙන් ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඒ අතර අරාබි වසන්තය, නැගෙනහිර යුරෝපීය රටවල ඇතිවුණු දේශපාලනික වර්ණ විප්ලවය ලංකාවේ ඇති වුණු අරගලය වගේ දේවල් ඊට දෙන්න පුළුවන් ළඟම උදාහරණ. මිනිසුන් දේශපාලනික සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම සඳහා පෙලැඹීම කියන කාරණාත් සමාජ මාධ්‍ය ඔස්සේ සක්‍රියව වෙන්න පටන් ගත්තා.


මේ නිසා තවදුරටත් නිර්දේශ මත යැපෙන්නේ නැතිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන ලෙස අණ පනත් ගේන්න යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් කටයුතු කළා. ඒ අනුව 2017 වසරේදී ජර්මනිය 'සමාජ මාධ්‍ය බලාත්මක කිරීමේ පනත' ගෙන ආවා. ඒකෙදි සමාජ මාධ්‍ය හිමිකරුවන් සිතනවා තමන්ගේ වේදිකාවල තියෙන සමාජ විරෝධී දේවල් ඉවත් කරන්න කියලා. මේ විදිහට සමාජ මාධ්‍යවලට නීතියක් බලාත්මක කරපු පළමු රට වෙන්නෙත් ජර්මනියයි. ඒ වගේම සමාජ මාධ්‍ය පරිශීලකයන් තමන්ට අවැඩක් වන සමාජ මාධ්‍ය බෙදා හැරීම් ඉවත් කරන්න කියලා සමාජ මාධ්‍ය ප්‍රධානීන් වෙත ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලීම ඉටුකරන්නත් අදාළ බලධාරීන් බැඳී සිටිනවා. ඒත් අදාළ ප්‍රධානීන් ඒ ඉල්ලීම ඉටු නොකළොත් ජර්මනියේ තියෙන දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි යුරෝ මිලියන 50ක දඩයක් ද නියම කරනවා." මහාචාර්ය ටියුඩර් වීරසිංහ කියන්නේය.


ජර්මනියෙන් ඇරඹී සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අණ පනත් ප්‍රංශය දෙසටත් ගමන් කළේය. එහිදී ප්‍රංශ ආණ්ඩුව මාර්ගගත වෛරී ප්‍රකාශනවලට එරෙහිව සටන් කිරීම උදෙසා නීති සම්පාදනය කිරීමට පටන් ගත්තේය. ඔවුන්ගේ නීති ප්‍රකාරව යම්කිසි වෛරී ප්‍රකාශයක් සමාජ මාධ්‍යයෙහි පළ වුවහොත් අදාළ සමාගම විසින් ඒවා ඉවත් කිරීමට කටයුතු නොකළහොත් අදාළ ආයතනයට එරෙහිව දඩ මුදලක් පැනවීමටත් කටයුතු කළේය. එය එසේ මෙසේ දඩයක් නොව අදාළ ආයතනයේ වාර්ෂික පිරිවැටුපෙන් සියයට හතරක දඩයක් ගෙවීමක් ලෙසය.


හරියටම මීට දශකයකට පෙර ඒ කියන්නේ 2016 වසරේදී පමණ යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නව නීතිරීති, රෙගුලාසි, අණ පනත් ගෙන එන්නේ කෙසේදැයි කියා මෙරට බලධාරීන්ට සැසිවාරයක් පැවැත්වූ බව කියන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටියුඩර් වීරසිංහය.


කෙසේ වෙතත් දරුවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය යන පනත් වෙනස්වන්නට පටන් ගත්තේ මෑත කාලීනවය. ඒ අතර බොහෝ යුරෝපීය රාජ්‍යයන් වයස අවුරුදු දහසයෙන් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ සීමා පැනවීමට කටයුතු කර ඇත්තේ ය.


"මේ අතරේ යුරෝපීය සංගමේ රටවල් මෑතකදි ගෙනා නීතියක් තමයි ස්ත්‍රී පුරුෂ භාවය, වයස, ජාතිකත්වය, වාර්ගිකත්වය, භාෂාව, ආගමික ඇදහිලි, වෘත්තීය, පදිංචිය, රැකියා ස්ථානය හෝ දේශපාලන මතවාද අරබයා කෙනකුගේ කීර්ති නාමය හෑල්ලුවට ලක් කිරීමේ අදහසින් වීඩියෝවක් හෝ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ කරනවා නම් එය නීති විරෝධී වැඩක් ලෙස හුවා දැක්වීමයි. ඒ දේ පක්ෂ නායකයන්ට වෙන්න පුළුවන්, දේශපාලනඥයන්ට වෙන්න පුළුවන්, ජනාධිපතිවරුන්ට වෙන්න පුළුවන්, අගමැතිවරුන්ට වෙන්න පුළුවන් කොටින්ම සාමාන්‍ය ජනතාවට වෙන්නත් පුළුවන්.


මේ කියන ඕනෑම කෙනෙකුගේ කීර්තිනාමයට හානිවන අයුරින් යම්කිසි දෙයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නේ නම් එය එරට අධිකරණ හමුවේ පිළිගැනෙන්නේ බරපතළ දඬුවම් දිය හැකි වරදක් ලෙසයි. මෙවැනි දේවල් ලංකාවේ නම් බොහෝ විට දකින්න ලැබෙන්නේ මැතිවරණ කාලයටයි. යුරෝපයේ නීතියක් තියෙනවා ජනමත විචාරණ, මැතිවරණ ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම වැළැක්වීමට උපමාන ගෙනල්ලයි තියෙන්නේ." මහාචාර්යවරයා කියන්නේය.


"මේ ලෝකෙ තත්ත්වය. එතකොට ලංකාවේ මොන වගේ තත්ත්වයක්ද මේ සම්බන්ධයෙන් තියෙන්නේ.." අපි විමසුවෙමු.


"ලෝකය නම් මේ වන විට සමාජ මාධ්‍ය නියාමනයට අවැසි නීති රීති අණ පනත් ගෙනල්ලයි තියෙන්නේ. මගේ මතයට අනුව නම් අපි තාම පරක්කුයි. ඒත් ඉතින් පමා වෙලා හෝ මේ සම්බන්ධයෙන් නීතිරීති ක්‍රියාත්මක කරන්න වෙනවා. අනිත් අතට මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් සමාජය තුළිනුත් ඇතිවෙන්න ඕනෑ. ඒකට හේතුව තමයි අද වන විට සමාජ මාධ්‍ය තුළින් මනුෂ්‍යත්වය කෙලෙසන ආකාරයේ දේවල් සිදුවීමයි. අනිත් දේ තමයි මේ විදිහට සමාජ මාධ්‍ය නියාමනයෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවගේ සුරක්ෂිතතාව, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ සුරක්ෂිතතාව, රාජ්‍යයේ තොරතුරු දැනගැනීමේ සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමටයි. අද වන විට ආර්ථික සුරක්ෂිතතාවට වඩා ප්‍රබල දෙයක් විදිහට තමයි තොරතුරු දැනගැනීමේ සුරක්ෂිතතාව ගැන ලෝකයා දකින්නේ. ඒ නිසා අපිත් රටක් විදිහට මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ."


"ඒත් අපි මාර්ග ගත සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පනතක් ගෙනාවා නේද.." මීට වසර දෙකකට ඉහතදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලයේදී ගෙනා පනත ගැන අපට සිහිපත් විය.


"ඔව්.. ඒත් ඒක මේ වෙනකොට අයින් කරලානේ තියෙන්නේ." පරණ පනත ගැන මහාචාර්යවරයා කීවේ එලෙසය.


"ඒ කියන්නේ මේ වෙනකොට මාර්ගගත සුරක්ෂිතතාව වෙනුවෙන් නීතිරීති ඕනෙමයි කියන එක නේද.." අපි ඇසුවෙමු.


"ඔව්.. ඒ වගේම මේ පනත් නියාමනයන් ගේන්න ඕනේ පවතින රජයට ඕන විදිහටවත් තවත් කෙනෙක්ගේ භාෂණයේ නිදහසට සීමාවෙන විදිහටවත් නෙමෙයි. මුලින්ම වෙන්න ඕනේ සමාජ මාධ්‍ය නියාමනය ගැන සමාජයේ කතිකාවතක් ඇති කිරීමයි. ඒ දේ කරන්නට අවැසි සියලුම පාර්ශ්වයන් එක තැනකට ගෙනල්ල මේ ගැන සාකච්ඡා පවත්වන්නත් ඕනේ.


සමාජ මාධ්‍ය කෙතරම් අපේ සමාජයට බලපෑමක් එල්ල කරල තියෙනවද කියනව නම් මේ සම්බන්ධයෙන් මහනායක හාමුදුරුවෝ දැනුවත් කරන්න අපි ගියපු වෙලාවේ උන්වහන්සේ කිව්වා ගිහියෝ විතරක් නෙවෙයි පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාත් අද වන විට සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වෙලයි ඉන්නේ කියලා." මහාචාර්ය ටියුඩර් වීරසිංහ කීවේය.

 

More News..