ලක්ෂ 40ක හෙරොයින් සමඟ පාතාල නායක 'ජයසේකර චූටි'ගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට
15 November 2026
ලක්ෂ 40ක හෙරොයින් සමඟ පාතාල නායක 'ජයසේකර චූටි'ගේ ප්රධාන ගෝලයෙකු අත්අඩංගුවට
15 November 2026
අම්බලන්ගොඩ, කන්දෙගොඩ කුරුඳුවත්ත මාර්ගයේදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ විදේශගතව සිටින පාතාල නායකයකුගේ ප්රධාන ගෝලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
ඊයේ (14) දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ, කන්දෙගොඩ ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.
මොහු පංච පුද්ගල ඝාතනයකට සම්බන්ධව සැකපිට දැනට විදේශගතව සිටින "ජයසේකර චූටි" නැමැති පාතාල නායකයාගේ මත්කුඩු ජාලයට සම්බන්ධ අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
කන්දෙගොඩ කුරුඳුවත්ත පාරේ, කන්දෙගොඩ දුම්රිය නවාතැන්පොළ පිටුපස මත්කුඩු අලෙවි කිරීම සඳහා සැකකරු රැඳී සිටින බවට අම්බලන්ගොඩ පොලිසියට රහසිගත තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව ක්රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් වැටලීම සිදු කර තිබේ.
පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු සැකකරු පලායාම සඳහා දිව ගොස් ඇති අතර, වැටලීමට එක්ව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඔහු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 101යි මිලිග්රෑම් 300ක තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න වේ.
මේ අතර සැකකරු මීට පෙරද මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවට බලපිටිය මහාධිකරණයෙන් ඇප ලබා පැමිණ සිටියදී යළිත් මෙලෙස මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරු අද (15) දිනයේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්රශ්න කිරීමට නියමිතව ඇත.


