බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් ගිනි ගනිද්දි අපට මොනවා වෙයිද?
03 November 2026 | චම්පිකා දීපානි රණසිංහ
බංග්ලාදේශයේ ඇඟලුම් කම්හල් ගිනි ගනිද්දි අපට මොනවා වෙයිද?
03 November 2026 | චම්පිකා දීපානි රණසිංහ
බංග්ලාදේශය යළි විරෝධතාවලින් ගිනි අරගෙන ය. මේ ගින්න රටේ මහ පුටුව පෙරළීම සඳහා හට ගත් ගින්නක් නොවෙයි. ඉහළ යන ජීවන වියදම හමුවේ ජීවිතය ගැටගසා ගැනීමට නොහැකිව ඇඟලුම් සේවක සේවිකාවන් ඇරැඹූ දැවැන්ත විරෝධතා මාලාවකි. සෙනසුරාදා දින විරෝධතාව ඇරැඹුණු අතර ඇඟලුම් හල් තිහක පමණ සේවක සේවිකාවන් නිවාඩු ප්‍රකාශ කර තිබිණි. එරට අගනුවර වූ ඩකා නුවර වටා දහස් සංඛ්‍යාත වූ සේවක පිරිසක් අඛණ්ඩව විරෝධතාවල නියැළී සිටිති. ආශුලියා පෙදෙසේදී සේවක පිරිස් සහ පොලිසිය අතර ගැටුම් ඇතිවීම නිසා කඳුළු ගෑස්, ශබ්ද බෝම්බ (sound grenades) පවා භාවිත කර තිබේ. සුළු පිරිසක් තුවාල ලබා ඇත.
ඉරිදා දිනයේදී බංග්ලාදේශ රජය විසින් ඇඟලුම් සේවකයන් සඳහා අවම වැටුප සමාලෝචනය කිරීම සඳහා නව වැටුප් මණ්ඩලයක් ද පිහිටුවා ඇති නමුත් දිගින් දිගටම විරෝධතාව පවතියි. මේ හේතුවෙන් ප්‍රධාන ඇඟලුම් කලාපවල කටයුතු අඩාල වී ඇත.
අපනයනය මුල්කර ගත් බංග්ලාදේශ ආර්ථිකයේ කොඳුනාරටිය වන්නේ ඇඟලුම් අංශයයි. මිලියන ගණනක් ඇඟලුම් සේවයේ යෙදී සිටින අතර රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානම කර්මාන්තය මෙය වේ. චීනයට පසු ලොව විශාලතම ඇඟලුම් කර්මාන්තයට හිමිකම් කියන්නේ බංග්ලාදේශයයි.
වර්තමානයේ සේවකයකුගේ අවම මාසික වැටුප වන ටකා 12,500 (ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 101ක්) දෙගුණයකටත් වඩා වැඩිකර ටකා 30,000ක (ඩොලර් 242ක) අවම මාසික වැටුපක් ලබා දෙන ලෙස සේවකයෝ ඉල්ලා සිටිති. මෙසේ අවම මාසික වැටුප දෙගුණයක් කර දෙන ලෙස ඉල්ලා සිටින්නේ ආහාර, නිවාස, ප්‍රවාහනය සහ සෞඛ්‍ය සේවා සඳහා දැරීමට සිදුවන වියදම් ඉහළ යාම හේතුවෙනි. මේ වන විට රජයේ, සේවකයන්ගේ සහ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත සය දෙනකුගෙන් යුතු මණ්ඩලයක් නව අවම වැටුප සංශෝධනය කිරීමට පත් කිරීමට නියමිතය.
එරට කම්කරු සහ වෘත්තීය අමාත්‍ය අරිෆුල් හක් චෞධ්රි කියා සිටින්නේ මේ විරෝධතාව හේතුවෙන් කර්මාන්තශාලා දිගු කලක් වසා තැබීමේ ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන කටයුතු අඩාලවී ගැටලු රැසක් ඇති වන බවයි. අපනයන නැව්ගත කිරීම් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගෙන් ලැබෙන ගෙවීම් ප්‍රමාද වීමට මෙවැනි විරෝධතා හේතුවන්නේය. එයින් සේවකයන් මෙන්ම නිෂ්පාදකයන් ද කබලෙන් ලිපට වැටීම වළකනු නොහැකිය.
බංග්ලාදේශ විරෝධතා ශ්‍රී ලංකාවට කෙසේ බලපාවිද?
බංගලිදේශයේ ඇතිවී තිබෙන මෙම තත්ත්වය මෙරටද විශේෂයෙන් බලපෑමේ අවදානමක් තිබේ. ඒ මෙරට ප්‍රධාන පෙලේ ඇඟලුම් සමාගම් කිහිපයක්ම ඉහළ පරිපාලනයේ බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රයේ ආයෝජන කර ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂෙුත්රය මුහුණදුන් ප්‍රධාන අභියෝග රැසක් සඳහා විසඳුම් බංග්ලාදේශයේ තිබීම නිසා මෙරට ඇඟලුම් දැවැන්තයන් නිතැතින්ම බංගලිදේශය වෙත ආකර්ශනය විය.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඇඟලුම් සමාගම් බංග්ලාදේශය තුළ තම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මුල් වූ ප්‍රධානතම හේතුවක් වන්නේ එරට පවතින අඩු ශ්‍රම පිරිවැයයි. ශ්‍රී ලංකාවට සාපේක්ෂව බංග්ලාදේශයේ ශ්‍රමිකයන් සඳහා ගෙවන වැටුප් මට්ටම අඩු බැවින්, මහා පරිමාණ නිෂ්පාදන සඳහා යන නිෂ්පාදන වියදම ඉතා විශාල ලෙස අවම කර ගැනීමට අපගේ සමාගම්වලට හැකි වී තිබේ. ඊට අමතරව, එරට වන අතිවිශාල ජනගහනයත් සමග ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය නුපුහුණු සහ අර්ධ පුහුණු ශ්‍රම බළකාය පහසුවෙන් සොයා ගැනීමට තිබෙන හැකියාව මෙම ආයෝජන සඳහා තවත් ප්‍රධාන හේතුවක් විය.
මීට අමතරව, බංග්ලාදේශය අවම සංවර්ධිත රටක් ලෙස වර්ගීකරණය කර ඇති බැවින්, යුරෝපා සංගමය ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළවල් වෙත ඇඟලුම් අපනයනය කිරීමේදී බදු රහිත ප්‍රවේශය ඇතුළු විශේෂිත වෙළෙඳ සහන රැසක් හිමි වේ. ශ්‍රී ලංකාවට අහිමි වී ඇති හෝ සීමාසහිත වන ඇතැම් බදු සහන බංග්ලාදේශයට හිමිවීම හේතුවෙන් එරට ඇඟලුම් කර්මාන්තයට පිවිසීම අපේ සමාගම්වලට විශාල වාසියක් වී ඇත. තවද, අතිවිශාල ඇණවුම් ඉතා කෙටි කාලයකින් නිම කිරීමට අවශ්‍ය මහා පරිමාණ යටිතල පහසුකම් සහ අවම පිරිවැයකින් යුතු ඉඩකඩ එරට තුළ බහුලව පැවතීම ද මෙම පුළුල් කිරීම්වලට උත්තේජ සපයන ලදි.
ශ්‍රී ලංකාව තුළ වත්මන් ප්‍රවණතාව වී ඇත්තේ සාමාන්‍ය ඇඟලුම් නිෂ්පාදනයට වඩා ඉහළ අගය එකතු කළ සහ සංකීර්ණ විලාසිතා නිෂ්පාදන කෙරෙහි අවධානය යොමු කිරීමයි. ශ්‍රම හිඟය සහ වැඩිවන පිරිවැය හමුවේ ලංකාව තුළ මහා පරිමාණ මූලික ඇඟලුම් නිෂ්පාදනය දුෂ්කර බැවින්, එම කොටස බංග්ලාදේශය වෙත යොමු කර ඇත. ඒ හරහා ශ්‍රී ලංකාවේ සමාගම් තම ව්‍යාපාරික ආකෘතිය වඩාත් කාර්යක්ෂම කර ගනිමින්, සාමාන්‍ය ඇඟලුම් බංග්ලාදේශයේදීත්, වැඩි අගය එකතු කළ විශේෂිත ඇඟලුම් ශ්‍රී ලංකාවේදීත් නිෂ්පාදනය කිරීමේ සාර්ථක උපායමාර්ගික ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි.
කම්හල් වසා තැබුවොත් හිමිකරුවන්ට පාඩුයි
සේවක වැඩ වර්ජනය හේතුවෙන් කම්හල් වසා තැබීමට සිදුවුවහොත් ලාංකේය සමාගම් හිමිකරුවන්ගේ ආදායමට සහ ලාභයට පහර වදියි. මේ වන විට මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් අපනයන නිෂ්පාදන සමාගම්, මෙරට සිය මෙහෙයුම් සුමට ලෙස කරගෙන යනු ලබන්නේ බංග්ලාදේශය වැනි රටවල පවතින සිය කර්මාන්තශාලාවලින් උපදවන ලාභයෙන් මිස, විදුලිබිල, ප්‍රවාහන වියදම් ආදිය අධික මෙවැනි රටක් තුළ සිදුකරන නිෂ්පාදනය හේතුවෙන් ලබන විශේෂ ලාභයකින් නොවේ. එසේ තිබියදී මෙරට හිමිකාරීත්වය සහිත අදාළ ඇඟලුම් කර්මාන්තශාලා පද්ධතියේ බංග්ලදේශ උත්පාදනය බිඳවැටීම යනු මෙරට සිය මෙහෙයුම් ද ඇතුළුව පොදුවේ එම සමාගම්වල කටයුතු පවත්වාගෙන යෑම අසීරු වීමය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් මෙරට පවතින ප්‍රධාන පෙළේ ඇඟලුම් සමාගමක් බිඳවැටුණහොත් ඒ මත සෘජුව සහ වක්‍රව යැපෙන මෙරැටියන් දස දහස් ගණනකගේ දිවි පැවැත්වමට එය දැවැන්ත ලෙස බලපානු ඇත. මෙරටට වැඩිම අපනයන ආදායම උපදවන කර්මාන්තය බිඳ වැටුණහොත් රටේ ඩොලර් ඉපැයුම්වලටද එය දැඩිව බලපානු නිසැකය.
එපමණක් නොව දකුණු ආසියානු කලාපය තුළ රෙදිපිළි, නූල් සහ අමුද්‍රව්‍ය හුවමාරුව එකිනෙකට දම්වැලක් මෙන් සම්බන්ධය. බංග්ලාදේශයේ නිෂ්පාදන අඩාලවීම මුළු කලාපයේම අමුද්‍රව්‍යවල මිල ගණන් සහ සැපයුම් කාලසටහන් වෙනස් කිරිමට හේතුවේ. එමෙන්ම බංග්ලාදේශ සේවකයන් ඉහළ යන ජීවන වියදමට සරිලන ලෙස වැටුප් ඉල්ලමින් සිදුකරන අරගලයේ බලපෑම කලාපයේ අනෙකුත් රටවල ඇඟලුම් ක්ෂේත්රයේ සේවකයන්ට ද බලපෑමට ඉඩ තිබේ. එමෙන්ම බංග්ලාදේශයේ අවම වැටුප ඉහළ දැමීමත් සමග මුළු කලාපයේම ඇඟලුම් නිෂ්පාදන පිරිවැය කෙරෙහි යම් බලපෑමක් ඇතිවිය හැකිය. මේ අතර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමස්ත ආසියානු කලාපයෙන්ම ඇඟලුම් නිෂ්පාදනවල මිල ගණන් නැවත සමාලෝචනය කිරීමට පෙළඹෙනු ඇත.
එබැවින් බංග්ලදේශයේ ඇතිව තිබෙන තත්ත්වය ‘අනුන්ගෙ දෙයක්’ හැටියට තබා බැහැර කළ නොහැකිය. බංග්ලදේශයේ ඇඟලුම් කර්මාන්තයට කිවිසුම් යද්දී, මෙරට ඇඟලුම් කර්මාන්තයට පමණක් නොව සමස්ත ආර්ථිකයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානමක් තිබේ.

