කුමාර ජයකොඩිට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 05 වැනිදා
07 September 2026 | කේ.එස්. උදයකුමාර
කුමාර ජයකොඩිට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 05 වැනිදා
07 September 2026 | කේ.එස්. උදයකුමාර
2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8859708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළේය.
මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජය කොඩි මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහ හේවා මහතා 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ලංසු කරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කෙරුණු බව පැවසුවේය.
එම අවස්ථාවේ අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි මහතා කටයුතු කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය.
ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර මෙම කාපට් ඇතිරීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගමක් තෝරා ගත් බවත් එම සමාගමට අත්තිකාරම් වශයෙන් රුපියල් 8859708/- මුදලක් අත්තිකාරම් ඇපකරයක් මත ගෙවීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු සඳහන් කළේය.
තමා එම ගෙවීම සඳහා අනුමැතිය ලබා දුන්නේ ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අනුගමනය කර ඇති බවට ඉදිරිපත් වූ ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව බවත් සාක්ෂිකරු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් අදාල සමාගම විසින් කාපට් ඇතිරීමේ කටයුත්ත සිදු නොකළ බව පිළිගත් සාක්ෂිකරු එම කටයුතු කිරීම සඳහා රැගෙන විත් තිබූ ගල් ඇතුළු අමුද්‍රව්‍ය තම සමාගම් පරිශ්‍රයේ දමා තිබූ බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව අදාළ සමාගම විසින් ලබාදුන් අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් 2214921 ක මුදලක් පමණක් අයකර ගැනීමට කටයුතු කෙරුණු බවත් සාක්ෂිකරු කියා සිටියේය.
ඉන් අනතුරුව ජාතික විගණන කාර්යාලයේ නීති නිලධාරණීයක්ද සාක්ෂි ලබා දුන්නේය.
ඉන් පසුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වනදා දක්වා කල් තැබීමටද අධිකරණය නියම කළේය.
2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් රජයට රුපියල් 8859708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

