brand logo
logo
විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න

විගණකාධිපති තනතුරට ගම්මන්පිල පත් කරන්න

26 January 2026 | ශිරාන් රණසිංහ

පුරප්පාඩු පවතින රජයේ විගණකාධිපති තනතුරට විගණන කාර්යාලයේ සිටින ජ්‍යෙෂ්ඨතම හා පරිණතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල පත් කරන ලෙස ඉල්ලමින් මහනායක හිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.


විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ඔහු විගණකාධිපති ලෙස පත්කිරීම යෝග්‍ය බවත් පිටස්තර අයෙක් එම තනතුර සඳහා පත්කිරීම යෝග්‍ය නොවන බවත් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිපිය මගින් කරුණු දක්වා තිබේ.


ශ්‍රී ලංකා ප්‍රජානත්ත්‍රවාදී ජනරජයේ 41 වන විගණකාධිපතිවරයා 2025-04-08 දින විශ්‍රාම යාමෙන් පසු විගණකාධිපති තනතුර පුරප්පාඩු විය. ඒ අනුව අදාළ තනතුරෙහි වැඩබැලීම සඳහා 2025-04-09 සිට 2025-12-05 දක්වා ධර්මපාල ගම්මන්පිල පත් කළ බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.


ගත වූ මාස 8කට ආසන්න කාලයේදී ස්ථාවර විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සහ වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුව තිබීම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව විවිධ පාර්ශ්ව අතර මත​භේද ඇති වී ඇතැයි ද මහනායක හිමිවරු පෙන්වා දී ඇත.


මෙම භාරදුර වගකීම් සමුදාය ඉටුකිරීමට ශක්‍යතාව සම්බන්ධව මතු වූ ගැටලු හේතුවෙන් එම තනතුරට නිර්දේශ කළ කිහිපදෙනකුගේ නාම ​යෝජනා ප්‍රතික්ෂේප වූ බවද උන්වහන්සේලා මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.


මෙනිසා රජයේ විගණකාධිපති ලෙස පිටතින් අයෙක් පත්නොකර විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා මෙන්ම සුදුසුම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල එම තනතුරට පත්කරන ලෙස මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන හිමි සහ ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහනාහිමිවරුන්ගේ අත්සනින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා ඇත.

 

More News..