brand logo
logo
සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කරනවා - අගමැතිනිය

සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කරනවා - අගමැතිනිය

22 August 2026


කිසිදු පුරවැසියෙකු මඟ නොහැර සියලු දෙනාට සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම රජයේ මූලිකම ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.


අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ සරසවි දිරියෝ අභිමන් - ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම වෙනුවෙන් යාපනය දිස්ත්‍රීක් ලේකම් කර්යාලයීය ශ්‍රවණාගාරයේ අද (22) පැවති උත්සවයට සහභාගීවෙමිනි.  


උතුරු පළාතේ පිහිටි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනෙකු වෙත මෙහිදී ඇගයීම් සහතික සහ ලක්ෂය බැගින් වූ මුල්‍ය ප්‍රදානය කිරිම අග්‍රාමාත්‍යතුමිය විසින් සිදු කළාය.


"දිවයිනේ බහුතරයක් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු දරුදැරියන් මේ වැඩසටහන මගින් ඇගයීමට පාත්‍ර වෙනවා.


මේ ඇගයීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඔබ පසුපස තව දහස් ගණනක් ශිෂ්‍යශිෂ්‍යාවන් එයි කියලා.


අපේ රටේ වැඩියෙන්ම ආබාධ සහිත පිරිසක් ඉන්නේ උතුර සහ නැගෙන හිර, ඒ අමිහිරි යුද්ධයේ තවත් අත්දැකීමක්. යළි යුද්ධයක් ඇතිනොවෙන්න වැඩ කරන රජයක් විදිහටත්, යුද්ධයක් ඇතිවන සාධක නැති කරන රජයක් හැටියටත් මේ වැඩසටහන මේ පළාතේ ක්‍රියාත්මක කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.


ජනාධිපති අරමුදල වරප්‍රසාද තියන අයට ලැබුණ තවත් වරප්‍රසාදයක් කියන එකට තිත තියලා ජනතාව ළගට ගේන්න ලැබීම අපි ලැබූ ජයග්‍රහණයක්. ඒ වගේම කිසිවෙක් අත්නොහැර සියලුදෙනාට සමාන සමාජයක ගොඩනගන්න අපි උත්සාහ කරනවා. 


ඔබ මෙතැනට ආපු ගමන ලෙහෙසි පහසු එකක් නෙවෙයි. සාමාන්‍ය ශිෂ්‍යයෙකුට වඩා සිය දහස් වාරයක භෞතික බාධක, අපහසුතා, වගේම ඇතැම් අවස්ථාවල සමාජයේ තියෙන ආකල්පමය බාධක පවා ඔබට ජය ගන්න සිද්ධ වෙන්න ඇති. නමුත් ඔබේ නංගිලාට මල්ලිලාට මේගමන එන්න පහසු කරන්න අපි එකතුවෙමු.


ඔබ අද විශ්වවිද්‍යාල සිසුන් ලෙස මා ඉදිරියේ සිටින්නේ ඔබේ නොසැලෙන මානසික ශක්තිය නිසයි. ඔබ අභියෝගවලට මුහුණ දීලා ඒවා ජයගන්නා ආකාරය අපේ රටේ ඉන්න අනෙකුත් තරුණ පරපුරට ලොකු ආදර්ශයක්. සුළු ප්‍රශ්නයකදී, බාධාවකදී ජීවිතය කලකිරෝගන්න තරුණ පරපුරට ජීවමාන ආදර්ශය ඔබයි.


අද මේ ශාලාවේ පිටුපස අසුන්ගෙන ඉන්න ඔබේ ආදරණීය දෙමාපියන්, ගුරුවරුන් ඇතුළු සියලු දෙනාවම මේ සුවිශේෂී මොහොතේ, මම ඉතාම ගෞරවයෙන් සහ ස්තූතිපූර්වකව මතක් කරන්න ඕනේ. ඒ පිරිස තමයි ඔබට ශක්තියක් වුණේ.


ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අපි අත්හැරලා කටයුතු කරන්නේ නැහැ. ඒ නිසාම රජය අඩු ආදයම්ලාභි පවුල්වල අබාධිත සිසුන් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දෙන්න ආරම්භ කළා. අධ්‍යාපනය සඳහා තාක්ෂණික සහය ආබාධිත දරුවන්ට ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළා.  


අද ඔබ ලබන මේ ඇගයීම ඔබේ ගමනේ අවසානය නෙවෙයි. මෙය ඔබේ දීප්තිමත් ගමනක ආරම්භය විතරයි. ඔබට කායිකව මොන සීමාවන් තිබුණත්, ඔබේ සිහිනවලට කිසිම සීමාවක් දාගන්න එපා.ඒ සිහින සැබෑ කරගන්න නොපසුබට උත්සාහයෙන් පෙරටම යන්න. එහිදී රජය සහ සමස්ත ජනතාවම ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිටුපසින් සිටිනවා."


 

More News..