ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවට තවත් ගිලන්රථ 100ක් සහ සෞඛ්‍ය ATM 50ක්
12 November 2026
ඉන්දීය ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවට තවත් ගිලන්රථ 100ක් සහ සෞඛ්‍ය ATM 50ක්
12 November 2026
කොළඹ පැවති ප්‍රථම BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඒකාබද්ධ අමාත්‍ය ප්‍රකාශය ඒකමතිකව සම්මත කර ගත් බවත්, එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්රයේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් අමෙරිකානු ඩොලර් මිලියන 5.28 ක පමණ ඉන්දීය ප්‍රදානයක් යටතේ අමතර ගිලන්රථ 100 ක් ලබා දීමේ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් බවත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය දැනුම් දෙයි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ශ්‍රී ජේ. පී. නඩ්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ඓතිහාසික රැස්වීමේදී, BIMSTEC සාමාජික රටවල් විසින් මහජන සෞඛ්‍යය පිළිබඳ සංශෝධිත ක්‍රියාකාරී සැලැස්ම (2026–2030) නිල වශයෙන් සම්මත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් වෛද්‍ය කුටි හෙවත් සෞඛ්‍ය ATM 50 ක් ලබා දීමට ඉන්දියාව සහය වන බව ශ්‍රී නඩ්ඩා මහතා මෙහිදී නිවේදනය කළේය. එමෙන්ම, ඉන්දියාව ගුජරාටයේ ජම්නගර් ITRA හි සාම්ප්‍රදායික වෛද්‍ය විශිෂ්ටතා මධ්‍යස්ථානය සඳහා සත්කාරකත්වය ලබා දෙනු ඇත.
සංචාරය අතරතුර, සෞඛ්‍ය ක්ෂේත්රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පවත්වන ලදී.
ප්‍රාථමික සෞඛ්‍යය, ඩිජිටල් සෞඛ්‍යය සහ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් යන අංශවල තම රටේ ප්‍රවීණත්වය BIMSTEC සාමාජික රටවල් සමඟ බෙදා ගැනීමට ඉන්දියාව සූදානම් බව අවධාරණය කළ අමාත්‍යවරයා, සෞඛ්‍ය ක්ෂේත්රයේ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේදී කිසිදු රටක් අත් නොහැරිය යුතු බවද කියා සිටියේය.
කොළඹ සංචාරයේ නිරත වූ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා ඓතිහාසික ගංගාරාම විහාරස්ථානය වැඳපුදාගෙන බුදු රත්නයේ ආශීර්වාදය ලබා ගත්තේය.
එහිදී අදහස් දක්වමින් එතුමා පෙන්වා දුන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සියවස් ගණනක් ඉපැරණි ශිෂ්ටාචාරමය, ආධ්‍යාත්මික සහ සංස්කෘතික බැඳීම්වලින් බැඳී ඇති බවත්, බුදු දහම දෙරට අතර මිත්‍රත්වයේ සහ පොදු උරුමයේ ස්ථිර පාලමක් වන බවත්ය.
සාමය, දයානුකම්පාව සහ සමඟිය පිළිබඳ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් දෙරටේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව මඟපෙන්වීමක් වේවායි ද එතුමා ප්‍රාර්ථනා කළේය.
පසුව කොළඹ වෙසෙන ඉන්දියානු ඩයස්පෝරාව හමු වූ අමාත්‍යවරයා, ඉන්දියාව ගෝලීය නායකයකු ලෙස පෙරට පැමිණෙමින් සිටින බවත් ශක්තිමත් ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය අතිශය වැදගත් වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.


