උතුරේ දූපත් කිහිපයක් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරන්න යයි
15 July 2026
උතුරේ දූපත් කිහිපයක් හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කරන්න යයි
15 July 2026
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති (Hybrid Renewable Energy System - HRES) ව්‍යාපෘති කේන්ද්‍ර කරගත් දූපත්, හරිත බලශක්ති දූපත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ජනධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.
බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (15) පැවති අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.
බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
එමෙන්ම ජයිකා ආධාර යටතේ ආරම්භ කර පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නවතා දමන ලද, බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුකර ඇත. මෙහිදී 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
දැනට ක්‍රියාත්මක වන කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය (220 kV), සාම්පුර් - කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය, නව හබරණ - කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය - CEATP, පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය කිරීම, වහල මත සවිකරන සූර්ය බලශක්ති එකතු කිරීමේ සහ අතථ්‍ය ශුද්ධ මිනුම් ව්‍යාපෘතිය (Virtual Net Metering Project) ඇතුළු දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.
ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති වන කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ අලුතින් ටැංකි 06ක් ඉදිකිරීම, මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ නව ටැංකි 02ක් ඉදිකිරීම සහ ඉන්ධන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ටැංකි ප්‍රතිෂ්ඨාපනය කිරීම, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ 07වන කලාපයේ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති 14ක ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිපාදන අවශ්‍යතා විමසා බැලූ ජනාධිපතිවරයා මෙම සියලු ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සලසා දීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කළේය.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

