Best News Website award
brand logo
logo
ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් එහි අවසානය පිළිබඳවත් අදාළ ආයතන සම්පූර්ණ වගකීම ගත යුතුයි

ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් එහි අවසානය පිළිබඳවත් අදාළ ආයතන සම්පූර්ණ වගකීම ගත යුතුයි

19 November 2026

කමිටුවලදී සාකච්ඡා කර ගන්නා තීරණ නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත්, තනි තනිව තමන්ගේ කොටස ඉටු කරනවා වෙනුවට සියලු ආයතන එකතු වී සාමූහිකව තීන්දු තීරණ ගෙන නිශ්චිත කාල රාමුවක් තුළ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.


කොළඹ දිස්ත්‍රික් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ඊයේ (18) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.


මෙම සාකච්ඡාවේදී දිරාපත් වන කසළ නිසි ලෙස බැහැර කිරීම, ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම සහ වැසි ජලය නිසා ඇති වන ගංවතුර තත්ත්වය පාලනය කිරීම ආදී කොළඹ දිස්ත්‍රික්කයේ පවතින දැවෙන ගැටලු සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයි පෙන්වා දුන්නේ එක් එක් ආයතන නිර්දේශ ලබා දීමෙන් පමණක් තම වගකීමෙන් බැහැර විය නොහැකි බවය.


ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් එහි අවසානය පිළිබඳවත් අදාළ ආයතන සම්පූර්ණ වගකීම ගත යුතු බව ඇය ප්‍රකාශ කළාය.

"තනි තනිව තමන්ගේ කොටස පමණක් ඉටු කිරීම වෙනුවට සියලු ආයතන එක්ව සාමූහික තීන්දු තීරණ අරගෙන ක්‍රමවේද සකස් කරමින් පවතින ගැටලු නිශ්චිත කාල සීමාවක් තුළ විසඳීමට කටයුතු කරන්න අවශ්‍යයි," යැයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

වත්මන් රජය විසින් නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමක් සිදු නොකරන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, ආරම්භ කරන ව්‍යාපෘති අතරමඟ නතර නොකර නිසියාකාරව, විධිමත්ව සහ නිසි අධීක්ෂණය යටතේ අවසානය දක්වාම ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙස රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

 

More News..