පරිසර ආරක්ෂණයට ප්‍රජා සහභාගිත්ව දිනයක්
18 September 2026 | •රවිශ්කා සුභර්ෂණී
පරිසර ආරක්ෂණයට ප්‍රජා සහභාගිත්ව දිනයක්
18 September 2026 | •රවිශ්කා සුභර්ෂණී
ජීවයේ පැවැත්ම තීරණය කරන වැදගත්ම සහ අනර්ඝතම ස්වභාවික සම්පත වන්නේ ජලයයි. පෘථිවිය මත සියලු ජීවීන්ගේ පැවැත්මට, සෞඛ්‍යයට හා මානව ක්‍රියාකාරීත්වයේ විකාශනයට ද ජලය නැතුවම බැරි සාධකයකි. එහෙත් වේගවත් කාර්මීකරණය, නාගරීකරණය, පරිසර දූෂණය සහ නොසැලකිලිමත් මිනිස් ක්‍රියාකාරකම් හමුවේ පිරිසුදු පානීය ජලය මෙන්ම ජලජ පරිසර පද්ධතිවල පැවැත්ම ද දැඩි තර්ජනයකට ලක්ව ඇත.
මෙම අවදානම් තත්ත්වය නිසි ලෙස හඳුනාගනිමින් ජලයේ ගුණාත්මකභාවයේ ඇති වැදගත්කම මෙන්ම අපගේ දෛනික ජීවිතයට අදාළව එහි පවතින තීරණාත්මක කාර්යභාරය පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුම්වත් කිරීම සඳහා සෑම වසරකම සැප්තැම්බර් 18 වැනිදා ලෝක ජල නිරීක්ෂණ දිනය සමරනු ලබයි.
මෙම ගෝලීය පරිසර වැඩසටහන ආරම්භ කළේ 2003 වසරේදී ඇමරිකාවේ "America's Clean Water Foundation" (ACWF) ආයතනය මගිනි. එතැන් පටන් සමස්ත ලෝකය පුරා විසිරී සිටින සාමාන්‍ය පුරවැසියෝ, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, තරුණ තරුණියෝ පරිසරවේදියෝ ආදී විවිධ පාර්ශ්ව ඒකරාශි වෙමින් සිය ප්‍රදේශයේ පවතින ගංගා, විල්, ඇළ දොළ සහ අනෙකුත් ජල මූලාශ්‍රවල සෞඛ්‍ය සම්පන්නභාවය නිරීක්ෂණය කරති.
ලෝක ජල නිරීක්ෂණ දිනයේ ඇති ප්‍රධානම වැදගත්කම වන්නේ වන පරිසර ආරක්ෂණය උදෙසා ප්‍රජා සහභාගීත්වය සෘජුවම ගත හැකිවීමයි. පරිසරය ආරක්ෂා කිරීම යනු එක් පුද්ගලයකුට පුද්ගල කණ්ඩායමකට හෝ අදාළ බලධාරීන්ට පමණක් භාරදී බලා සිටිය යුතු වගකීමක් නොවෙයි. පරිසරය ආරක්ෂා කිරීම සෑම පුරවැසියකුගේම පරම යුතුකමකි. ඒ බව ලෝක ජල නිරීක්ෂණ දිනය මගින් ද අපට සිහිපත් කෙරේ.
ලෝක ජල නිරීක්ෂණ දිනය පැවැත්වීමේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ තමන් පරිහරණය කරන ජල සම්පත පිළිබඳවත්, දෛනික මිනිස් ක්‍රියාකාරකම් මගින් එම ජලයේ ගුණාත්මකභාවයට එල්ල වන බලපෑම පිළිබඳවත් ජනතාව තුළ යම් උනන්දුවක් හා සක්‍රීය අවබෝධයක් ඇති කිරීමයි.
ජලයේ පිරිසුදුකම හා තත්ත්වය මැන බැලීම සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු සංකීර්ණ තාක්ෂණයක් අවශ්‍ය යැයි බොහෝ දෙනෙක් කල්පනා කරති. එහෙත් සරලව ප්‍රවේශ විය හැකි කුඩා පරිමාණ ජල පරීක්ෂණ කට්ටල භාවිතය ප්‍රවර්ධනය කිරීම මගින් ද ජලයේ පිරිසුදුකම හා තත්ත්වය මැන බැලිය හැකිය. මෙම සරල මෙවලම් භාවිත කිරීම මගින් තම වටපිටාවේ ඇති ජල මූලාශ්‍රවල pH අගය, දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය, කැළඹිලිසහගත බව සහ උෂ්ණත්වය වැනි ප්‍රධාන විද්‍යාත්මක ප්‍රමිතීන් ස්වාධීනව තක්සේරු කිරීමට ලොව පුරා තරුණ පරපුරට, නාගරිකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද අවශ්‍ය වටපිටාව නිර්මාණය කරදීම ලෝක ජල නිරීක්ෂණ දිනයට සමගාමීව සිදුවන්නකි.
ඒ ආකාරයට මහජන සහභාගිත්වයෙන් රැස්කර ගන්නා දත්ත මගින් වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධානතම පරිසර ගැටලු කිහිපයක් පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මතුකරයි. විශේෂයෙන්ම යම් ප්‍රදේශයක සිදුවන ජල දූෂණ, ජල සම්පත් අධික ලෙස සූරාකෑම සහ දේශගුණික විපර්යාස නිසා ජල මූලාශ්‍රවලට වන අහිතකර බලපෑම් හඳුනාගැනීමට එම පරීක්ෂණ මගපාදයි. එමගින් ලැබෙන විශාලතම ප්‍රයෝජනය වන්නේ යම් ජල මූලාශ්‍රයක හදිසි ජල දූෂණයක් වුවහොත් එය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදීමට ප්‍රදේශවාසීන්ට ශක්තිය සහ දැනුම ලැබීමයි. රජයට හෝ අදාළ ආයතනවලට පමණක් සියල්ල භාරනොදී, තම පානීය ජල මූලාශ්‍රවල ආරක්ෂාව තමන් විසින්ම නිරීක්ෂණය කිරීමේ යහපත් පුරුද්ද මේ තුළින් ජනතාව අතර වර්ධනය වේ.
ලෝක ජල නිරීක්ෂණ දිනය නිමිති කරගනිමින් ලොව පුරා විවිධ ප්‍රජා මූලික වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලබයි. දේශීය ජල මූලාශ්‍රවලින් සාම්පල ගෙන පරීක්ෂා කිරීම, ජලජ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ පාරිසරික අධ්‍යාපනික වැඩමුළු පැවැත්වීම සහ ගංගා, ඇළ දොළ ආශ්‍රිතව පවතින අපද්‍රව්‍ය ඉවත් කිරීමේ හා ජලය පිරිසුදු කිරීමේ ව්‍යාපෘති මේ අතර ප්‍රධාන තැනක් ගනී. මෙම නිරීක්ෂණ කටයුතුවලට සහභාගී වන පිරිස් තමන් විසින්ම සොයාගන්නා ලද දත්ත ගෝලීය දත්ත සමුදායන් සහ ජාල සමග හුවමාරු කර ගනී. එමගින් මුළු ලෝකයේම ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සවිස්තරාත්මක හා නිවැරැදි විද්‍යාත්මක චිත්‍රයක් ලබාගැනීමට පර්යේෂකයන්ට සහ සංරක්ෂකයන්ට ද හැකියාව ලැබෙයි. මෙමගින් තරුණ පරපුර තුළ ජල මූලාශ්‍ර පිළිබඳ විශාල වගකීමක් සහ සංවේදීතාවක් ගොඩනැගෙන බවද කිව යුතුය.
පිරිසුදු ජලය ලබාගැනීම යනු සෑම මනුෂ්‍යයෙකුගේම මූලික මානව අයිතියකි. එහෙත් ඒ හිමිකම පූර්ණ ලෙස සුරක්ෂිත කරගැනීම සඳහා ජල මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමේ අතිමහත් වගකීම ද අප සතුව පවතී. ලෝක ජල නිරීක්ෂණ දිනය අපට නිරන්තරයෙන් සිහිපත් කර දෙන්නේ ජලය අපවිත්‍ර වී ජල අර්බුදයක් නිර්මාණය වන තෙක් බලා නොසිට නිරන්තරයෙන් ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සොයා බැලීමත් ජල මූලාශ්‍ර සංරක්ෂණයට කැපවීමත් අප සැමගේ පරම යුතුකමක් බවයි.
ඒ අනුව ලෝක ජල නිරීක්ෂණ දිනය යනු හුදෙක් එක් දිනක සැමරුමක් පමණක් නොව පරිසරය සුරැකීම වෙනුවෙන් වගකීම්සහගත හා සක්‍රිය සමාජයක් නිර්මාණය කරන මහඟු ප්‍රයත්නයකි. ජල සංරක්ෂණය සඳහා වූ භාරකාරීත්වය පිළිබඳ හැඟීමක් පුද්ගලයින් හා ප්‍රජාව තුළ ඇති කරමින් අනාගත පරම්පරාව වෙනුවෙන් මෙම අත්‍යවශ්‍ය ජීවන සම්පත ආරක්ෂා කරගැනීමට පෙළැඹවීම මෙම දිනය සැමරීමේ අවසාන අරමුණයි. පරිසරයේ හදවත බඳු ජල පද්ධතින් පිරිසුදුව හා සුරක්ෂිතව තබාගැනීමට අද දවසේ අප තබන කුඩා හෝ සක්‍රිය පියවරක් හෙට දිනයේ සමස්ත ලෝකයේම සහ අනාගත පරම්පරාවේ පැවැත්ම තීරණය කරනු ඇත.

