brand logo
logo
හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

04 May 2026

ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මගින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය පැවසුවේ, මෙම සිදුවීම ඉරානයේ සිරික් (Sirik) වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදුව ඇති බවය.


එම අවස්ථාවේදී නෞකාව හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවද සඳහන්.


එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "උතුරට ගමන් කරමින් තිබූ තොග ප්‍රවාහන නෞකාවක ප්‍රධානියා කුඩා යාත්‍රා කිහිපයකින් ප්‍රහාරයකට ලක් වූ බව වාර්තා කර ඇත. සියලුම කාර්ය මණ්ඩලය ආරක්ෂිත බව වාර්තා වන අතර පරිසරයට කිසිදු බලපෑමක් සිදුව නොමැත," යනුවෙනි.


ප්‍රහාරයට ලක්වූ නෞකාව ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන Minoan Falcon නෞකාව විය හැකි බවට විශ්වාස කෙරේ. 


සිදුවීම සිදුවන අවස්ථාවේදී එය සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් යාත්‍රා කරමින් තිබූ අතර, ඉන් අනතුරුව එහි ට්‍රාන්ස්පොන්ඩරය (Transponder) ක්‍රියා විරහිත කර ඇත.


හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කරන වාණිජ නෞකාවලට පහර දීම සඳහා කුඩා වේගවත් යාත්‍රා සමූහයක් භාවිතා කිරීමේ උපක්‍රමයක් ඉරානය විසින් අනුගමනය කරනු ලබයි. 


අප්‍රේල් 22 වන දින Epaminondas සහ MSC Francesca යන බහාලුම් නෞකා අත්පත් කර ගැනීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව භාවිතා කළේද මෙම ක්‍රමයම වන අතර, එම නෞකා දෙකම අත්අඩංගුවට ගැනීමෙන් පසුව මුලින්ම සිරික් වෙත රැගෙන යන ලදී.


 

More News..