ලූස් පොල්තෙල් තහනම් ගැසට්ටුව අත ළඟ
11 July 2026 | නිර්මාණි තිලකසිරි
ලූස් පොල්තෙල් තහනම් ගැසට්ටුව අත ළඟ
11 July 2026 | නිර්මාණි තිලකසිරි
වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා ඇමැති මණ්ඩලය දෙවැනි වරටත් පොල් සංවර්ධන අධිකාරියෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් නිර්දේශ ඉල්ලා තිබේ.
ලූස් පොල්තෙල් අලෙවිය තහනම් කිරීමේ තීරණය මීට වසරකට පෙර ගත් අතර, ඊට අදාළ කැබිනට් මණ්ඩල සංදේශය සහ නිර්දේශ මීට පෙර ඉදිරිපත් කර තිබිණි. ඒ සඳහා වූ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කර ඇතත් දෙවැනි වරටත් අමාත්‍ය මණ්ඩලය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස දැනුම් දීම නිසා ප්‍රමාද විය.
ඊට හේතුවී ඇත්තේ ආහාර සුරක්ෂිතතාව යටතේ පොල්තෙල් පමණක් ලූස් විකිණීම තහනම් කිරීමට වඩා ආහාරයට ගන්නා සියලුම තෙල් වර්ග ලූස් විකිණීම තහනම් කළ යුතු බවට පෝෂණවේදීන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දීමය. ඒ පිළිබඳව ඇමැති මණ්ඩලයේද අවධානය යොමුවී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට දෙවැනි වරටද ඊට අදාළව නිර්දේශ යොමුකර ඇති බැවින් සිල්ලර පොල්තෙල් අලෙවිය තහනම් කිරීමේ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසයි. කලවම් පොල්තෙල් අලෙවි කිරීම වැළැක්වීමේ අරමුණින් ගෙන ඇති මෙම තීරණයට දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ලෙස කැමැත්ත දක්වන නමුත්, මෙම තීරණය දේශීය පොල්තෙල් සඳහා පමණක් නොව, ආනයනික පොල්තෙල් සඳහාද අදාළ විය යුතු බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පැවසීය.
මෙරට පරිභෝජනය කරනු ලබන පොල්තෙල් අතරින් සියයට විසිපහක පමණ ප්‍රමාණයක් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරයි. ඉතිරි සියයට හැත්තෑ පහක ප්‍රමාණය ආනයනික වෙනත් තෙල් වර්ග වුවත් ඒවා පොල්තෙල් සන්නාමය ඔස්සේ වෙළෙඳපොළට නිකුත් කරන බව එම සංගමය පෙන්වා දුන්නේය. කර්මාන්තකරුවන් ලෙස ඇසුරුම් කරන ලද පොල්තෙල් විකිණීමේ තීරණයට එකඟ වුවද මේ හරහා ආනයනික තෙල් වර්ග ඇසුරුම්කරණයට ලක් නොවුණහොත් බරපතළ ගැටලුවක් ඇතිවන බව ඔවුන් ප්‍රකාශ කළේය.

