brand logo
මාතර කලා උළෙල ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මාතර කලා උළෙල ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

02 February 2024 | ජයසිරි පේදුරුආරච්චි - මාතර

ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA)ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි. ආර්ථික හා සමාජීය පුනර්ජීවනයක් වෙනුවෙන් සංස්කෘතික ප්‍රජාවගේ සහයෝගීතාවය ඇතිව කලා සංවිධාන පදනම් කර ගත් මෙම කලා උළෙල පෙබරවාරි මස 02 සිට 04 දක්වා මාතර කොටුවේදී පැවැත්වේ.


ගාලු සාහිත්‍ය උළෙලෙන් පසුව වසර ආරම්භයේදී මාතර කලා උළෙල දකුණු වෙරළ තීරයේ පැවැත්වීම සංචාරකයින්ට සහ ශ්‍රී ලාංකිකයින්ට විශේෂත්වයකි.


UNESCO සංවිධානය විසින් සංරක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති මාතර කොටුව, නගරය සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් කලාවන් ආර්ථික හා සමාජීය පුනර්ජීවනයට සුවිශේෂී දායකත්වයක් වී ඇති අතර, ඒ හරහා අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහ ගෝලීය හවුල්කරුවන් සමග දැනුම හුවමාරු කෙරෙන සබඳතාවක් ඇතිකර ගැනීමට මෙම කලා උළෙල ඉවහල් වනු ඇත.


දිවංගත මංගල සමරවීරගේ පවුලේ සාමාජිකයන් වන ජයන්ති සමරවීර ගුණවර්ධන සහ චංචලා ගුණවර්ධන හා මහාචාර්ය ජගත් වීරසිංහ ඇතුළු මාතර Freedom Hub සංසදය විසින් මෙම කලා උළෙල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.


මෙහි මූලික වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ගෞරවනීය කලාකරුවෙකු සහ පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය ජගත් වීරසිංහ සහ සංගීතඥයෙකු හා අධ්‍යාපනඥයෙකු වන ආචාර්ය සුමුදි සුරවීර විසිනි. මෙම වැඩසටහන සඳහා ප්‍රදීප් චන්ද්‍රසිරි, ප්‍රියන්ති අනූෂා, ෆීරි රහ්මාන්, හේමා ශිරෝනි, මාතර පාල පොතුපිටිය සහ අනුර ක්‍රිෂාන්ත ඇතුළු කලාකරුවන් 12 දෙනෙකුගෙන් යුත් ඉදිරිපත් කිරීමක් සහ මහාචාර්ය ජගත්ගේ මගපෙන්වීම යටතේ මාතර කලාකරුවන් 8 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද අතිරේක ප්‍රජා කලා වැඩසටහනක් ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් අතරට ඇතුළත් වේ.


පෙබරවාරි 04 නිදහස් දිනය දා, මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී අංග 7කින් යුත් එළිමහන් ප්‍රසංගයක් ද මෙම කලා උළෙලට සමගාමීව පැවැත්වේ. අමිල සඳුරුවන් විසින් ජන සංගීතය, බ්‍රසීලියානු ගායක පෝලා විසින් ජෑස් බොසා නෝවා (Jazz to bossa nova) සහ රෙගේ (reggae) සංගීතය, පහතරට බෙර වාදනය සහ ජෑස් බෙර වාදන කණ්ඩායමක් වන Baliphoincs කණ්ඩායමේ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම සහ ඇමරිකාවේ රැප් (Rap) සහකර්නාටික් (Carnatic) ගායක රෝලෙක්ස් රසති විසින් කරනු ලබන ප්‍රාසංගික ඉදිරිපත් කිරීම් ඇතුළු තවත් කලාකරුවන් රැසක් මෙම ප්‍රසාංගික කලා දැක්ම සඳහා සහභාගී වේ.


ප්‍රවේශපත්‍ර ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රසංගය හැර, මාතර කලා උළෙලේ අනෙකුත් අංග සියල්ල නොමිලේ නැරඹීමට හැකිය. නිල්වලා ගඟ බඩ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වූ ජනාධිපතිවරයා මාතර සංවර්ධන සැලැස්ම පිළිබඳව සොයා බැලීය. මාතර කලා උළෙල නැරඹීමට පැමිණි සංචාරකයන් සමගද සුහද පිළිසඳරක නිරතවීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමතක නොකළේය.

 

More News..