අලි ඇතුන් සුරැකීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ප්‍රකාශයක්
17 November 2026
අලි ඇතුන් සුරැකීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ප්‍රකාශයක්
17 November 2026
මෙරට අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණය විශේෂ අවධානයක් යොමු කරන බවත්, විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ විශාල ගොඩනැගිලි නැරඹීමට නොවන බවත් අභියාචනාධිකරණය අද (17) ප්‍රකාශ කළේය.
වගාබිම් ආරක්ෂා කිරීමේ අරමුණින් ගොවීන්ට ගිනි අවි නිකුත් කිරීමට රජය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය ගොනු කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය මෙම අදහස් පළ කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින්, ගොවීන් ඇතුළු පිරිසකට ගිනි අවි නිකුත් කිරීම හේතුවෙන් අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කළේය.
වගාවන් ආරක්ෂා කිරීම සඳහා මීට පෙර අක්කර පහක වගාබිම් සීමාවකට යටත්ව ගිනි අවි නිකුත් කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, රජය මෑතකදී ගෙන ඇති තීරණයකට අනුව එම සීමාව අක්කර දෙක දක්වා අඩු කර ඇති බව ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් නිකුත් කෙරෙන ගිනි අවි සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
2002 වසර වන විට ගිනි අවි 305ක් නිකුත් කර තිබූ අතර, එම සංඛ්‍යාව 2026 වසර වන විට 490ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, මේ වන විට සමස්තයක් ලෙස ගිනි අවි 3,207ක් නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු, අලි ඇතුන් මෙරට ජාතික උරුමයක් බවත්, වෙඩි වැදීමෙන් මියගිය කාවන්තිස්ස ඇතාගේ සිදුවීම ද සිහිපත් කරමින් මෙරට අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් සඳහන් කළේය.
එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ අලි ඇතුන් ජාතික සම්පතක් ලෙස සලකා ආරක්ෂා කළ යුතු බවයි.
විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ විශාල ගොඩනැගිලි නැරඹීමට නොවන බවත්, වන සතුන් සහ පරිසරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වඩාත් සැලකිලිමත් වන බවත් සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමට අධිකරණය කටයුතු කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 30 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නියෝජ්‍ය ආරක්ෂක ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පරිසර ඇමති වෛද්‍ය ධම්මික පටබැඳී ඇතුළු පිරිසක් නම් කර තිබේ.


