brand logo
logo
හා හා ශෂිකා ඒවා කරන්න බෑ අල්ලලා හිරේ දානවා

හා හා ශෂිකා ඒවා කරන්න බෑ අල්ලලා හිරේ දානවා

05 October 2026 | නිරෝෂා වාසල

කවුරු පොලිස්පති පුටුවේ වාඩිවී සිටියද ඔහුට වඩා ජනප්‍රිය, රටක් දන්නා පොලිස් නිලධාරියෙක් සිටියේ නම් ඔහු අජිත් රෝහණය. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සති දෙකකට පමණ පෙර ඉසිඹු ලද අජිත් රෝහණ ප්‍රකට චරිතයක් බවට පත්වූයේ පොලිස් අධිකාරී නිලයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි කළ සමයේදීය. පසුකලක ඔහු එම ධුරයට සමු දී වෙනත් රාජකාරි භාර ගත්තද, පොලිස් මූලස්ථානය යළිදු වරක් අවස්ථා ගණනාවකදී ඔහු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුවේ වාඩි කළේය. නීතිඥයකුද වන අජිත් රෝහණ සිය රාජකාරි දිවියේ අමතක නොවන මතකයන් ගැන "සති අග අරුණ"ට කී කතා මාලාවේ දෙවැනි කොටසයි මේ.


පොලිසියට යන්න අයැදුම් පත්‍රයක් දැම්මේ ගමේ බේකරි බාසුන්නැහැ කිව්ව නිසයි කියලා ඔබ පහුගිය සතියේ කිව්වා. ඒ විදිහට පවුලේ පළමුවැනි පිරිමි දරුවා පොලිසියට යනවට අම්මා තාත්තා අකැමැති වුණේ නැද්ද?


නෑ. අපේ පවුලේ ආර්ථික දුෂ්කරතා බොහොමයක් තිබුණා. අපි හැමෝම ජීවත් වුණේ තාත්තට ලැබුණු වැටුපෙන්. රැකියාවක් කරලා තාත්තට හයියක් වෙන්න පුළුවන් නම් කියලා හිත හිත හිටිය වෙලාවකයි මට පොලිස් පුහුණුවට එන්න කියන ලියුම ආවේ. අනෙක අපේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙක්ම පොලිසියට බැඳිලා හිටියත් උප පොලිස් පරීක්ෂක තනතුරේ කවුරුත් හිටියෙත් නැහැ. ඒ නිසා මම පොලිසියට යනවට අම්මා තාත්තා අකැමැති වුණේ නෑ. පවුලේ හැමෝගෙම ආශිර්වාදයත් ඇතිව මම පොලිස් පුහුණුව සඳහා කළුතර පොලිස් විද්‍යාලයට ගියා. ස්ථීර වැටුපක් ගන්න තිබූ ආසාවට පොලිසියට ගියාට, ඒ ජීවිතේ හිතන තරම් සුන්දර නැහැ කියලා පුහුණුව අතරතුර අනන්තවත් මට හිතිලා තියෙනවා.


ඒ මොකද එහෙම හිතුණේ?


පොලිස් පුහුණුව කියන්නේ අපි හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. ඒ පුහුණු කාලය ඇත්තටම මම හිතුවාට වඩා කටුකයි. ගමේ ඇවිදලා, පවුලේ පිරිසත් එක්ක කාලය ගතකරලා බොහොම නිදහසේ සැහැල්ලුවෙන් හිටිය මට මාස හත අටක්ම පොලිස් විද්‍යාලයේ කම්බි වැටවල් හතරට සීමා වෙන්න වුණා. ඒක වෙනස්ම අත්දැකීමක්. පුහුණු කාලය තුළ ගෙදර යන්න ලැබුණෙත් ඉතාම කලාතුරකින්. හරියටම වෙලාවට වැඩකරන්න වෙනවා. පාන්දර නැගිටලා සරඹ පුහුණු වෙන්න තියෙනවා. පෙළපාළිවලට යනවා. ඒ විතරක්මත් නොවෙයි අවි පුහුණු වෙන්න, දුවන්න පනින්න, පීනන්න වගේම බොහෝ දේවල් ඉගෙන ගන්නත් තිබුණා. රැවුල කපලා, සපත්තු පොලිෂ්කරගෙන හරියට ඇඳුම් ටික හදාගෙන පිළිවෙළටම ඉන්න වෙනවා. හැමදාම එකම වගේ කෑම තමයි කන්න තිබුණේ. හොඳින් පුහුණුව සම්පූර්ණ කරගන්න නම් මේ හැමදේම පිළිවෙළට අකුරටම කළ යුතුයි. මුල් දවස්වල මට ඒ විදිහට ඉන්න හරිම අමාරු වුණා.


ඒ කියන්නේ ඔබට පුහුණුව අතරමග දාලා ගෙදර යන්න හිතුණා...


එහෙම හිතුණු අවස්ථා නැතුවම නොවෙයි. පොලිස් පුහුණුවට අමතරව ඒ දවස්වල අයි.ඕ.ටී කියලා පුහුණුවක් තිබුණා. යුද සොල්දාදුවෙක්ගේ භූමිකාව පිළිබඳ සම්පූර්ණ ඉගැන්වීමක් අයි.ඕ.ටී. පුහුණු කාලය තුළ කරනවා. ඒ පුහුණුව ටිකක් අමාරුයි. නිල ඇඳුම ඇඳගෙන, බූට්ස් දාගෙන, පිටේ ලොකු බෑග් එකකුත් එල්ලාගෙන මාලිමාවෙන් දිශාව හොයාගෙන කැලෑවල තනියම යන්න වෙනවා. කඳු නගින්න තියෙනවා. අව්ව වැස්ස, රෑ දවල් ගැන හිතන්නෙ නෑ. සමහර දවස්වල රාත්‍රිය ගත කරන්නෙත් කැලෑවල. වන සතුන්ගෙන් කරදර වෙයිද කියලා බයේ හිටිය දවසුත් තිබුණා. ඒ වගේ වෙලාවට මේ පුහුණුව පැත්තකින් තියලා ගෙදර යන්න තිබුණානම් කියලා හිතිලා තියෙනවා. ඒත් එදා ඒ දුෂ්කරත්වයත් එක්කම ලොකු සුන්දරත්වයකුත් තිබුණා කියලා අද ඒ ගැන කල්පනා කරද්දී මට හිතෙනවා.


ඔබත් සමග පොලිස් පුහුණුවේ සිටි අනෙක් මිතුරන් කවුද?


1988 මාර්තු 15 පොලිසියට බැඳුණු කණ්ඩායමේ මාත් එක්ක අසූ දෙදෙනෙක් හිටියා. දැනටත් රාජකාරී කටයුතුවල නිරත වී සිටින තිරිකුණාමල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර, තෙල්දෙණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හර්ෂ අමරසිංහ මාත් සමග පුහුණුවේ සිටි අයගෙන් කිහිපදෙනෙක්.


පුහුණු කාලයේදී නැවත කවදාවත් වතුර බොන්නේ නැහැ කියලා වාක්‍ය පන්දාහක් ලියන්න වුණේ මොකද?


ඇත්තටම ඒ සිදුවීම නම් වුණේ මට නොවෙයි. පොලිස් පුහුණුවේදී ප්‍රියදර්ශන ද සිල්වා කියලා දකුණු පළාතේ යාළුවෙක් මගේ ළඟම වාඩිවෙලා හිටියා. එක දවසක් පුහුණුවීම් අතරතුර අනවශ්‍ය වෙලාවක ප්‍රියදර්ශන වතුර බිව්වා. අපිට පුහුණුව අතරතුර එහෙම හිතෙන හිතෙන වෙලාවට වතුර බොන්න බෑ. වතුර බොන්නත් වෙලාවක් තිබුණා. ඒ වෙලාව ගැන තැකීමක් නොකළ නිසා ප්‍රියදර්ශනට දඬුවම් විඳින්න වුණා. පන්ති වෙලාවෙදි මම නැවැත වතුර බොන්නේ නෑ කියලා වාක්‍ය පන්දාහක් ලියලා ගෙනැල්ලා පහුවදා උදේ වෙද්දී පෙන්නන්න කියලා උපදේශකවරයා කිව්වා. පහුවදා උදේ වෙද්දී වාක්‍ය පන්දාහක් ලියන්න බෑනේ. අවසානයේ මම වගේම තවත් යාළුවෝ කිහිපදෙනෙක් එකතු වෙලා ඔහුට ඒ වාක්‍ය පන්දාහ සම්පූර්ණ කරගන්න උදව් කළා. පුහුණුකරුවන්ට ඒක අහුවෙලා ලොකු ප්‍රශ්නයක් වුණා.


ඔය දකුණේ යාළුවා හින්දා ඔබේ ජීවිතයත් නැති වෙන්න ගියා කියන කතාව මොකක්ද?


බෝම්බ ගැන ඉගෙන ගන්න දවස්වල තමයි ඒ සිදුවීම වුණේ. මුලින්ම අපිට ලැබුණේ ආදර්ශ බෝම්බයක්. ඉන් පසුව ජීව අත්බෝම්බ දෙනවා. ඒ ජීව අත්බෝම්බ විසිකරද්දී ඉතාම ප්‍රවේශම් විය යුතුයි. අපි ඒ විසි කරන ජීව අත්බෝම්බය බැරිවෙලා හරි ළඟකට වැටුණොත් ඒ ළඟ ඉන්න පිරිස මිය යනවා. එක දවසක් පුහුණුව අතරතුර ප්‍රියදර්ශන කියන යාළුවා විසි කළ ජීව බෝම්බයේ කෑල්ලක් ඇවිත් ඔහුගේම බෙල්ලෙ වැදුණා. මම ඔහු ළඟම හිටියේ. මොකද වුණේ කියලා හිතාගන්න බැරි වුණත් මම එකපාරම පහළට නැමුණා. එහෙම නැමුණේ නැත්නම් අර බෝම්බයේ ලොකු කෑල්ල ඇවිත් අනිවාර්යෙන්ම මගේ ඇඟේ වදිනවා. එදා නම් අනූනමයෙන්ම තමයි මගේ ජීවිතය බේරුණේ. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. නමුත් ඉතින් මගේ යාළුවා ඒ දේ කළේ හිතලා නොවෙයි. සමහර වෙලාවට අපි කවුරු අතිනුත් අතපසුවීම් වෙනවනේ.


මොනතරම් සෝචනීය දේවල් තිබුණත් අවසාන ප්‍රතිඵලය සුන්දරයිනේ?


ඔව්. පොලිස් පුහුණුව නිසා මම බොහෝ දේවල් මගේ ජීවිතයට එකතු කරගත්තා. අවුරුදු තිස් අට හමාරක පොලිසියේ රාජකාරී කාල පරිච්ඡේදය තුළ කවදාවත් මම නියමිත වෙලාවට තත්පරයක්වත් ප්‍රමාද වෙලා සාකච්ඡාවක් තියලා නෑ. දහයට කිව්වොත් හරියටම දහයට ඒ වැඩේ පටන් ගන්නවා. මට වෙලාවට වැඩක් කරන්න නොහැකි වුණානම් ඒ ඉතාම කලාතුරකින්. විශේෂම හේතුවක් තිබුණොත් විතරයි විනාඩියක් දෙකක් හරි ප්‍රමාද වෙන්නේ. වෙලාවට වැඩකරන පුරුද්ද අදටත් මට තියෙනවා. පොලිස් පුහුණුව නිසා තමයි වෙලාවට වැඩකරන පුරුද්ද මට ඇතිවුණේ. ඒ වගේම විනයක් ඇතිව පිළිවෙළට, පැහැදිලිව වැඩ කරන්නත් අභියෝග හමුවේ කම්පා නොවී ඉන්නත් මම ඉගෙන ගත්තේ පොලිස් පුහුණුවෙන්.


පුහුණුවෙන් පසුව උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට ඔබට මුල්ම පත්වීම ලැබුණේ මොන පොලිස් ස්ථානයටද?


තංගල්ලට. ඒත් මම තංගල්ල පොලිසියේ වැඩි කාලයක් හිටියේ නෑ. ඉතාම ටික කාලයක් තංගල්ල පොලිසියේ ඉඳලා මම අම්බලන්ගොඩ පොලිසියට ගියා. අම්බලන්ගොඩ පොලිසියෙත් වැඩි කාලයක් ඉන්න ලැබුණේ නෑ. මට තිස්සමහාරාම පොලිසියට මාරුවක් ලැබුණා. මාස හයක් පමණ තිස්සමහාරාම පොලිසියේ කටයුතු කරලා ලුණුගම්වෙහෙර පොලිසියට ගියා. පුහුණුවෙන් පසුව මේ කියන පොලිසි හතරෙම මම හිටියේ මාස දහයකටත් අඩු කාලයක්. ඉන්පසුව මට රාජකාරී සඳහා වඳුරඹ පොලිසියට යන්න වුණා.


ඔබ වඳුරඹ පොලිසියේ රාජකාරියට ගියේ පොලිස් ස්ථානාධිපතිවරයෙක් හැටියට නේද?


පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගේ වගකීම කරට අරගෙනයි මම වඳුරඹ පොලීසියට ගියේ. වඳුරඹ පොලිසිය කියන්නේ ගාල්ලේ බද්දේගම ආසනයට අයත් කුඩා පොලිස් ස්ථානයක්. මගේ රාජකාරී ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයත් ඒ කුඩා පොලිස් ස්ථානයම තමයි. මම වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා හැටියට පත්වෙද්දී මට අවුරුදු විසි දෙක හමාරක් විතර ඇති. එදා මෙදා තුර අවුරුදු එකසිය හැටක ශ්‍රී ලාංකේය පොලිස් ඉතිහාසය තුළ අවුරුදු විසි දෙක හමාරක් වගේ අඩු වයසකින් පොලීසියක ස්ථිර පොලිස් ස්ථානාධිපතිවරයෙක් හැටියට කෙනෙක් පත්වෙලා ඉන්නවනම් ඒ මම විතරයි. තවත් විදිහකට කියනවනම් වඳුරඹ පොලිසියේ රාජකාරී කළ ළාබාලම පොලිස් නිලධාරියා වුණේ මමයි. ඒ දවස්වල පොලිසියේ වැඩ කළ බාලම පුද්ගලයා පවා මට වඩා වැඩිමල්.


අවුරුදු විසි දෙකක් වගේ වයසකින් පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගේ වගකීම ගන්න බයක් හිතුණේ නැද්ද?


බය හිතුනෙ නෑ. ඒත් පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට පැවරෙන්නේ සුළුපටු වගකීමක් නොවෙයිනේ. ඒ වගකීම හරිම අභියෝගාත්මකයි කියලා මට දැනුණා. කොහොම හරි ඒ අභියෝගයට මුහුණ දෙනවා කියලා මම හිතා ගත්තා. අවුරුදු විසිදෙක හමාරක් වගේ වයසකින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් වෙන්න ලැබීම ගැන මට ලොකු සතුටක් තියෙනවා. ඒ වගේ වයසකින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් වුණා කියන්නෙම වාර්තාවක්. ඒ ගැන මට සතුටුයි. කොහොම වුණත් ඉතින් අත්අඩංගුවට ගැනීම, ඇප දීම, උසාවි දැමීම ආදිය පමණක් නොවෙයි නියමිත ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීම ආදී වගකීම් රැසක් මට දරන්න වුණා.


එපමණකුත් නොවෙයි පොලිසියේ නිලධාරීන්ගේ සුබසාධනය, නිවාඩු, ගමන් බිමන්, කෑමබීම ආදී සියල්ලම පිළිබඳවත් හොයලා බලන්න වුණා. වයස අවුරුදු විසිදෙකේදී මම මේ හැම දෙයක්ම කළා. ඒත් අද වයස අවුරුදු විසිදෙකේ සමහර පිරිමි ළමයි තවමත් අම්මා ළඟට වෙලා නිදාගෙන ඉන්නවා. අම්මට කියලා බත් කවා ගන්නවා. එහෙම බැලුවාම මම ඒ වගේ පොඩි වයසකිනුත් ලොකු වගකීමක් දරලා තියෙනවා. ඒ ගැන මට අදටත් තියෙන්නේ ලොකු සතුටක් සහ ආඩම්බරයක්.


අඟුණුකොළපැලැස්ස පොලිසියේත් ඔබට වැඩි කාලයක් ඉන්න වුණේ නෑ කියන්නෙ ඇත්තද?


අවුරුදු දෙකකට ආසන්න කාලයක් මම අඟුණුකොළපැලැස්ස පොලිසියේ හිටියා. ඉන්පසුව මම වලස්මුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා හැටියට පත්වුණා. ඒ පත්වීමත් මගේ ජීවිතයේ අමතක නොවෙනම මතකයක්. සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවලට ශ්‍රේණියක් දීලා තියෙනවා. හොඳම පොලිසියට දීලා තියෙන්නේ ඩී ශ්‍රේණිය. ඊළඟට සී ශ්‍රේණිය. ඊටත් පස්සේ බී ශ්‍රේණිය. ඉන්පසුව ඒ තුන, ඒ දෙක, ඒ එක හැටියට පොලිසිය ශ්‍රේණිගත කරලා තියෙනවා. වලස්මුල්ල පොලිසිය කියන්නේ ඒ දවස්වල ඒ තුන ශ්‍රේණියේ පොලීසියක්. සාමාන්‍යයෙන් ඒ ශ්‍රේණියේ පොලිසිවලට දාන්නේ පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු දරන නිලධාරීන් පමණයි.


උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට හිටිය ඔබ කොහොමද ඒ තුන ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ස්ථානාධිපති වුණේ?


මම ඔය කියන දවස්වල වලස්මුල්ල කියන්නේ බොහෝ ගැටුම් තිබුණු ප්‍රදේශයක්. සිංහල අලුත් අවුරුදු දවසට විතරක් අනිවාර්යෙන්ම දෙතුන් දෙනෙක් මොනවා හරි ගැටුමක් නිසා මිය යනවා. මිනීමැරුම්, කොල්ලකෑම් නතර වෙන්නෙම නැහැ. මේ ගැටලුවලට විසඳුම් හොයන්න පුළුවන් අජිත් රෝහණට විතරයි. වෙන කෙනෙක් දාන්න නෑ කියලා එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමා පොලිස්පති ඩබ්ලිව්.බී. රාජගුරුට කියලා තිබුණා. ඒත් ඉතින් එස්. අයි කෙනෙක් දාන්න බෑනේ කියලා පොලිස්පතිතුමා උත්තර දීලා. කොහොම වුණත් පසුකාලීනව පොලිස්පතිතුමා මම ගැන බුද්ධි අංශවලින් හොයලා බලලා මගේ තියෙන දක්ෂතා ගැනත් පැහැදිලා මාව වලස්මුල්ල පොලිසියේ ස්ථානාධිපති හැටියට පත් කළා. එතකොට මට මතක විදිහට අවුරුදු විසි අටක් විතර ඇති. එතෙක් කල් පැවැති සම්ප්‍රදාය වෙනස් කරමින් ඒ තුන ශ්‍රේණියේ පොලිස් ස්ථානයකට උප පොලිස් පරීක්ෂකවරයෙක් ස්ථානාධිපති හැටියට පත්කළ ඉතිහාසයේ පළමු වතාව එයයි.


කසිප්පුකාරයන් අල්ලන්න හවසට වලස්මුල්ල ගම වටේ රවුම් ගැහුව හැටිත් මතක් කරමු?


මම ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙක් සිවිල් පිට හවස හයට විතර එළියට බහිනවා. අපි පයින්ම ගම වටේම ඇවිදිනවා. හදිසියක්ම වුණොත් කියලා එක නිලධාරියෙක් විතරක් නිල ඇඳුමෙන් ඉන්නවා. කැලෑ අස්සෙ රිංගලා කඳුවල නැගලා අපි කසිප්පූ, කරිඤ්ඤං තියෙන තැන් හොයාගන්නවා. මේ විදිහට ගම වටේම ඇවිදලා පහුවදා උදේ හයට විතර තමයි පොලිසියට එන්නේ. එහෙම එද්දී කසිප්පුකාරයෝ, නීති විරෝධීව කටයුතු කරන මිනිස්සු විස්සක් තිහක් විතර පොලිසියට අරගෙන එනවා. ඒ විදිහට මිනිස්සු අල්ලන් එන්න අපි ගම වටේ ගිය හැටි අදටත් මට මතක් වෙනවා. ඒක හරිම විනෝදජනක අත්දැකීමක්. සමහර වෙලාවට ගම වටේ ඇවිදිද්දි බඩගින්නක් ආවොත් කුරුම්බයක් බොනවා. කැලෑවල ඇවිදිද්දී පලතුරු කඩාගෙන කනවා. කොහොම වුණත් ඒ දවස්වල අපි ඒ විදිහට ගම වටේ ඇවිද්ද නිසා වලස්මුල්ලේ තිබුණු අපරාධ සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් වුණා.


සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා පැවැත්වුණු විභාගයෙන් ඔබ ලංකාවෙන්ම පළමුවැනියා වුණාලු නේද?


ඔව්. මම වලස්මුල්ල ස්ථානාධිපතිවරයා හැටියට ඉන්න කාලයේදී සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා වන තරග විභාගය පැවැත්වුණා. ඒ විභාගයට පෙනී සිටින්න පුළුවන්කම තිබුණේ පොලිස් පරීක්ෂක තනතුරේ අවුරුදු දහයක රාජකාරි කාලයක් සම්පූර්ණ කර තිබෙන පුද්ගලයන්ට පමණයි. ඔය තරග විභාගයට අයැදුම්පත් කැඳවන දවස් වෙද්දී මම අවුරුදු දහයක රාජකාරි කාලය සම්පූර්ණ කරලා හරියටම සති දෙකයි. මමත් අයැදුම් පත්‍රයක් දැම්මා. අති විශාල ලකුණු ප්‍රමාණයක් සමග මම ඒ විභාගයෙන් සමත් වුණා. ඇත්තටම කිව්වොත් ඒ විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වුණේ මම තමයි.


ඔය මොන තනතුර ලැබුණත් අජිත් රෝහණ කියන නම අතිශයින් ජනප්‍රිය වුණේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර නිසා නේද?


ඒ කතාව ඇත්ත. 2011 අවුරුද්දේ එවකට හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්මයා තමයි මාව මුලින්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියට පත් කළේ. ඒ අනුව මම අවුරුද්දක් මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කරලා 2012 අවුරුද්දේ අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා හැටියට ගියා. ඒත් නැවැතත් ඉලංගකෝන් මහත්තයා මාව කැඳවලා මාධ්‍ය ප්‍රකාශක වගකීම භාර දුන්නා. ඒ අනුව 2013 සිට 2015 වනතුරුම මම නැවැත පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියට හිටියා. ඉන්පසුව 2017 අවුරුද්දේ ඉතාම කෙටි කාලයක් මාධ්‍ය ප්‍රකාශක හැටියටත් ඉන් පසුව කොවිඩ් මාධ්‍ය ප්‍රකාශක හැටියටත්, නැවැත පොලිස් මාධ්‍ය ප්‍රකාශක හැටියටත් කටයුතු කරලා තියෙනවා. මේ සියල්ලෙන්ම පසුව පොලිසියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියටත් මම කටයුතු කළා. ඒ අනුව බලද්දී 2011 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අවුරුදු 11ක කාලය තුළ මම පස් වතාවක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරලා තියෙනවා.



කොවිඩ් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට කටයුතු කළ කාලය නම් ඔබට කවදාවත් අමතක වෙන්නේ නැතුව ඇති?


කොවිඩ් කාලයේ මම දුන් උපදෙස් අරගෙන සමහරු සමාජ මාධ්‍යවලට විවිධ විනෝදාත්මක අදහස් තියෙන පෝස්ට් හදලා දාලා තිබුණා. එළියට යන්න එපා, සමීපව ඉන්න එපා මීටරයක් දුරින් ඉන්න වගේ අපි දුන්න උපදෙස් ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතවලට සම්බන්ධ කරලා සමහරු විනෝදෙට එක එක පෝස්ට් හැදුවා. ඒවා දැක්කම ඉතින් අපිටත් හිනා යනවා. තොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න කියලා ශෂිකා නිසංසලාගේ ගීතයක් තියෙන්නේ. අන්න ඒ ගීතය අරගෙන "හා හා ශෂිකා. ඒවා කරන්න බෑ. අල්ලලා හිරේ දානවා" කියලා මගේ ෆොටෝ එක දාලා හදලා තිබුණා. ඒ එකක් විතරයි. ගීත ගණනාවකට මම දුන්න උපදෙස් ගළපලා සමහරු හරි ලස්සන නිර්මාණාත්මක දේවල් කරලා තිබුණා. ඒවා අද මතක් වෙද්දී හිතට සතුටක් දැනෙනවා. හැබැයි කොවිඩ් කාලයේ හැමදාම උදේ හයට හිනාවෙලා මිනිස්සු ඉදිරියට ඇවිත් නිරෝධායන ඇඳිරි නීතිය ගැන කියන අජිත් රෝහණව විතරයි බොහෝ දෙනෙක් දැක්කේ. අපේ හිනාව පිටුපස සෞඛ්‍ය ප්‍රශ්න වගේම තවත් අභියෝග ගණනාවක් තිබුණා. ඒ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරමින් කොවිඩ් කාලයේ ජනතාවට සේවය කරන්න ලැබීම මට වෙනම සතුටක්.



 

More News..