ඇතින්න දැක උමතු වූ අලියා පැදුරු, ඇතිරිලි විසි කරලා
29 September 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
ඇතින්න දැක උමතු වූ අලියා පැදුරු, ඇතිරිලි විසි කරලා
29 September 2026 | පාලිත ආරියවංශ - බදුල්ල
බදුල්ල ඓතිහාසික කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා රැගෙන ආ හරිත නම් හස්තියා තරුණ ඇතින්නක දැක පෙරේදා (27 වැනිදා) රාත්‍රියේ කුලප්පුවිම නිසා දේවාල පරිශ්‍රයේ හා අවට සීමාවේ පෙරහර නැරඹීමට පැමිණි පිරිස් භීතියට පත්ව දිව ගියහ.
ඇතින්න දැක උමතු වූ හස්තියා පෙරහර නැරඹීමට පැමිණි අය ඉඳගැනීම සඳහා භාවිත කළ පැදුරු හා ඇඳ ඇතිරිලි කීපයක් ද, තම්මැට්ටමක් හා අලි ඇඳුම්ද විසිකරමින් නොසන්සුන්ව හැසිරුණු අයුරු දක්නට ලැබිණ.
ඇත් ගොව්වා හස්තියා පාලනය කිරීමට දැඩි වෙහෙසෙක් ගත් නමුත් හස්තියා තවදුරටත් දේවාලය ඉදිරියේ ඇති සිංහාසනය අසලදී පෙරහර මාර්ගය අවහිර කරමින් රැඳී සිටීම නිසා පෙරහර පැය දෙකක පමණ කාලයක් පමා වී ආරම්භ කිරීමට ද සිදුවිය.
නැටුම් කණ්ඩායම් සිරිත් පරිදි සිංහාසනය ඉදිරියේ ඇති දොරටුවෙන් පිටත් නොවී දේවාල පරිශ්‍රයේ වෙනත් දොරටුවකින් අතුරු මාර්ගයකට පැමිණ පෙරහරට එක්විය.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් කිසිවකුටත් අනතුරක් සිදුනොවූ බවත් පශු වෛද්‍යවරයෙක් පැමිණ හස්තියාට එන්නතක් විදීමෙන් පසු හස්තියා සන්සුන් වූ බවත් බදුල්ල කතරගම දේවාලයේ බස්නායක නිලමේ රංජිත් උදයකුමාර දිසානායක පැවැසීය.
මෙම හස්තියා පෙරහරෙන් ඉවත් කර සියලු චාරිත්‍ර විධි අනුගමනය කරමින් දර්ශනීය ලෙස පෙරහර පැවැත්වූ බවද බස්නායක නිලමේවරයා කීවේය.

