දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි - අගවිනිසුරු
02 July 2026
දුර්වල අධිකරණ පද්ධතියක් ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් රටක් විනාශ කරයි - අගවිනිසුරු
02 July 2026
ස්වභාවික ආපදා මගින් පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියක් හේතුවෙන්ද රටක් ඉතා කෙටි කාලයකින් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පවසයි.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් කිසිදු ජාත්‍යන්තර ආධාරයක් හෝ ජාත්‍යන්තර සහායක් මගින් රට යථා තත්ත්වයට පත් කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ නව මහේස්ත්‍රාත්වරුන් සඳහා පැවැති උත්සවයකදී අදහස් දක්වමින්ය.
අධිකරණ සංවිධාන පනතේ සඳහන් කරුණු අනුව නීති වෘත්තිය පිළිබඳවද අදහස් දක්වමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ නීතිඥවරුන්ද සදාචාරාත්මක හා පිළිගත හැකි හැසිරීමක් පවත්වාගත යුතු බවයි.
“හොඳ කීර්තියක්, නිපුණතාවයක් සහ දැනුමක් ඇති යහපත් පුද්ගලයින් පමණයි නීතිඥවරුන් ලෙස බඳවාගන්න පුළුවන්. නීතිඥවරුන් ලෙස ලියාපදිංචි වීමෙන් පසුත් වගකීම අවසන් නොවේ. ඔබ එය දිගටම පවත්වා ගත යුතුයි. එසේ නොමැතිනම්, ගැටලු ඇති විය හැකියි” යනුවෙන් ඔහු පැවසීය.
ජනතා ස්වෛරීභාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ බලය සහ ඡන්ද බලය යන ප්‍රධාන සංරචක හතරක් ඇති බවය.
ඉන් තුන්වැනි බලය අධිකරන බලය වන අතර එම බලය ජනතාවගෙන් උරුම වූ බලයක් බවත්, විනිසුරුවරුන් එය ජනතා ප්‍රයෝජනය සඳහා ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.
ඔබ එම බලය ඔබේ නිවසින් ගෙන එන්නේ නැත. අපි ඔබට බලය ලබා දෙන්නේ ද නැත. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිසමද නොවේ. එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාව. කාගේ ප්‍රයෝජනය සඳහාද? ජනතාවගේ ප්‍රයෝජනය. එය මතක තබා ගත යුතුය.” යනුවෙන් අගවිනිසුරු පැවසීය.
අධිකරණයේ ස්වාධීනත්වය විනිසුරුවරුන්ගේ පෞද්ගලික වාසිය සඳහා නොව, ජනතාවගේ යහපත සහ ඔවුන් තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා පවත්වාගෙන යා යුතු බවද අගවිනිසුරුවරයා අවධාරණය කළේය.
“අධිකරණයේ ස්වාධීනත්වය ඔබ වෙනුවෙන් පමණක් නොවේ. ඇතැම් අය විනිසුරුවරයකු වූ පමණින් තමන්ට කැමති ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතනවා. එහෙම නෑ,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

