රට පුරා අටපිරිකර වටලයි
12 August 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
රට පුරා අටපිරිකර වටලයි
12 August 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරු ඇතුළත් කළ, මළ බැඳුණු දැලිපිහි ඇතුළු අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොකළ, ප්‍රමිතියෙන් තොර, රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුතු අටපිරිකර තොගයක් පාරිභෝගික අධිකාරිය සිය භාරයට ගෙන ඇත. අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා (10 වැනිදා) දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීමකදී මෙම අටපිරිකර සොයා ගෙන තිබේ.
එදින කරන ලද වැටලීම් 92කදී අටපිරිකර, තනිපට සිවුරු, අඳනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ 436ක් මෙහිදී පාරිභෝගික නිලධාරීන් භාරයට ගෙන ඇත.
අහඹු ලෙස තෝරා ගත් අටපිරිකර විවෘත කර ඒවා තුළ ඇතුළත් කර තිබෙන භාණ්ඩ මෙම වැටලීමේදී පරීක්ෂාවට ලක් කර ඇත.
ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර තිබෙන භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැළී ගිය පාත්‍ර සහ මල බැඳුණු දැලි පිහි ඇතුළත් කිරීම වැනි අක්‍රමිකතා රැසක් එහිදී අනාවරණය වුණු බව පාරිභෝගික අධිකාරිය පවසයි. එම වෙළෙඳ ආයතනවලට එරෙහිව නඩු පැවරීමට නියමිතව ඇත.
පිටත ඇසුරුම් නිරීක්ෂණය කිරීමෙන් පමණක් මෙම අක්‍රමිකතා හඳුනා ගත නොහැකි බැවින් ආගමික අවශ්‍යතාවක් සඳහා අටපිරිකර මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය මහජනතාවට අවධාරණය කරයි.
භාණ්ඩවල හා ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබීම, වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු ඉන්වොයිසි සහ අනෙකුත් ලේඛන ආදියට අදාළව මෙම වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය දිවයින පුරා වැටලීම් 127ක් කර තිබේ.

